වේලි ඔයේ ජල පෝෂක වනාන්තර විනාශ කර ගොවි පවුල් 3000 ක් අවතැන් කර
ගොල්ෆ් කී‍්‍රඩා පිටිය ඉදි කිරීමට නැවත සූදානම්





යෝජිත ව්‍යාපෘති බිමේ පිහිටි වේලි ඔයේ පෝෂක දියදහරාවන්

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

පසුගිය රජය පැවති සමයේ දී ආරම්භ කිරීමට සැලැසුම් කළ වේලි ඔය ගොල්ෆ් කි‍්‍රඩා පිටිය හා හෝටල් ව්‍යාපෘතිය පරිසර සංවිධාන වල බලපෑම මත හා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඊට එරෙහිව ගෙන ගිය අධිකරණ කි‍්‍රයාමාර්ග වල ප‍්‍රතිඵලයක් ලෙස තාවකාලිකව නතර කිරීමට හැකි වුව ද වත්මන් රජයේ අනුග‍්‍රහය යටතේ නැවත වරක් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් වේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ මැදිහත්වීම මත හා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ සහයෝගය මත මෙම හානිකර ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපෘතියක් ලෙස නැවත ආරම්භ කිරීමට මේ වන විට සැලැසුම් කර තිබේ. ඒ ස`දහා උපුල් ජයසූරිය මහතා විසින් ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා දීමට පියවර ගනිමින් සිටී.
මෙම ව්‍යාපෘතිය ස`දහා යොදා ගැනීමට සූදානම් වන්නේ ජල පෝෂක හා අලි - ඇතුන්ගේ වාසස්ථාන ලෙස ඉතාම වැදගත් වනාන්තර පද්ධතියකි. රුපියල් මිලියන 850 ක් පමණ වැය කර කි‍්‍රයාත්මක කළ වේලිඔය වාරි ව්‍යාපාරය යටතේ යල - මහ දෙකන්නය වගා කළ ජනතාව අවතැන් කරමින් සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628 ක් එළි පෙහෙළි කර "Eco Golf Resort” නමින් මෙම ගොල්ෆ් ක‍්‍රීඩා පිටිය හා හෝටලය ඉදිකිරීමට සැලැසුම් කර තිබේ. හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, රන්වන්ගුහාව ග‍්‍රාම නිලධාරී වසමේ දඩයම්පළගම ග‍්‍රාමයේ පිහිටි වනාන්තර මේ ව්‍යාපෘතියට යොදා ගැනෙන අතර "Alpha And Omega Developers(Pvt) Ltd” නම් සමාගම විසින් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.
මේ සඳහා යොදා ගන්නා ඉඩම් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වන අතර මේ වනාන්තර ඉඩම් වේලි ඔය වාරි ව්‍යාපෘතියේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වේ. මීට අතරව උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි - ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයකි.
මේ වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්. එම්. ජනක රවීන්ද්‍ර කළුපහන මහතාගේ පියා විසින් වරින්වර වංචනික ලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත. අංක 1567 (2006.07.21 දින ලියාපදිංචි අංක න්‍152/126 බදුල්ල) දරන ඔප්පුවේ උප ලේඛන ගත වනාන්තර ඉඩම් මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා මහතා ලබාගෙන ඇත්තේ ද එලෙස පැවරූ පුද්ගලයකුගෙනි.
පසුගිය රජය පැවති සමයේ දී මේ ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම පිටුපස සිටි ප‍්‍රධාන දේශපාලන හස්තය වූයේ වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතා ගේ පුත් හපුතලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකු බණ්ඩාර මහතා ය. වත්මන් රජය බලයට පත් වූ පසුව වාසු රාසයියා මහතා විසින් බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර, නියෝජ්‍ය අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා හරහා ද මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීය. මීට අමතරව හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනාන්තර ඉඩම් කොල්ලය හා ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ ව සිටී. මේ දේශපාලන හා නිලධාරී සම්බන්ධය හේතුවෙන් පාරිසරික අනපනත් තුට්ටුවකට මායිම් නොකර මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ.
සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර වනාන්තර ආශ‍්‍රිත නොවන සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. එපමණක් නොව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් නීතිමය තත්ත්වයක් පැවතිය ද යෝජිත ව්‍යාපෘති භූමිය පුරා වනාන්තර තීරු එළි පෙහෙළි කරමින් මැනීම් කටයුතු සිදු කිරීම හා මාර්ග සැකැසීම මීට වසර කිහිපයකට ප‍්‍රථම සිදු කෙරුනේ නීති විරෝධී ලෙසය. මෙලෙස මහ පරිමාණ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමට ප‍්‍රථමයෙන් ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයි යන පූර්ව නිගමනය මත ව්‍යාපෘතිය ආරම්භ කිරීම ව්‍යාපෘති යෝජකයින්ගේ විලාසිතාවක් බවට ලංකාව තුළ පත් වෙමින් තිබේ. ඒ තත්ත්වය මැඩ පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ඍජුව මැදිහත් විය යුතු ය. ඒසේ නොවුනහොත් පුනර්ජනනය කළ නොහැකි මෙවන් සම්පත් ඊනියා සංවර්ධකයින් ගේ ගොදුරු බවට පත් වී වැනසී යෑම නතර කළ නොහැකි වනු ඇත.
පසුගිය කාලය පුරාම නීති විරෝධී ලෙස කි‍්‍රයා කරමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම ව්‍යාපෘතිය ස`දහා අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ වාසු රාසයියා මහතා වෙනුවෙන් පෙනී සිටිමින් මෙම ව්‍යාපෘතිය ස`දහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා දීමට නීතීඥ උපුල් ජයසූරිය මහතා කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණකි. නීතීඥ සංගමයේ වසර දෙකක කාලයක් සභාපතිත්වය දරමින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පසුගිය කාලයේ දී ඉදිරිපත් වූ නීතීඥ උපුල් ජයසූරිය මහතා නීති විරෝධීව වසර කිහිපයක් පුරා කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ දැරූ හානිකර ව්‍යාපෘතියකට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමට මැදිහත්වීමෙන් පෙනී යන්නේ ඔහුගේ සැබෑ නිරුවතයි. වාසු රාසයියා මහතාගේ මුදල් බලය හමුවේ නීතීඥ උපුල් ජයසූරිය මහතා වැනි පුද්ගලයින් ද නීතිය අවනීතිය බවට පත් කිරීමට ඉදිරිපත් වීමෙන් පැහැදිලි වන්නේ පසුගිය රජය සමයේ කි‍්‍රයාත්මක කළ නීති විරෝධී හා ¥ෂණ, වංචා සියල්ල වත්මන් රජය යටතේ ද ඒ ආකාරයෙන් ම කි‍්‍රයාත්මක කරන බවය. වෙනසකට ඇත්තේ එහි මුහුණුවර හා කි‍්‍රයාත්මක වන පුද්ගලයින්ගේ වෙනස පමණි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාද අගයන, රට ගැන සිතන ජනතාව බලාපොරොත්තු වූයේ මේ තත්ත්වය නොවේ. මේ නීති විරෝධී සම්පත් සූරාකෑම් වලට එරෙහිව ජනතාව ඡුන්දය භාවිතා කළේ පැවති රජය පෙරලා දමා වෙනත් රජයක් බලයට පත් කිරීම ස`දහා පමණක් නොවේ. ඔවුන් බලාපොරොත්තු වූයේ යහපාලනය ස්ථාපිත කරමින් රටේ සම්පත් සූරාකෑම හා සමාගම් වෙනුවෙන් පෙනී නොසිටින ජනතාවාදී රජයක් බිහි කිරීමටය. නමුත් අද වන විට සිදු වී ඇත්තේ පසුගිය රජයේ කි‍්‍රයාකාරීත්වය වෙනත් මුහුණුවරකින් කි‍්‍රයාත්මක වීමය. ඒ ස`දහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් මූලිකත්වය ගෙන සිටීම රටේ ජනතාවගේ අභාග්‍යයකි.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සිව් වන කොටසේ සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැන ලෙස ස`දහන් කොටසෙහි, වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කිරීම පිළිබ`දව හා මධ්‍ය ක`දුකරයේ ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය කිරීම මගින් කෘෂි කර්මාන්තයේ සුරක්ෂිතතාවය ඇති කිරීම පිළිබ`දව ස`දහන් කර ඇත. එපමණක් නොව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය මගින් ඉදිරිපත් කළ මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලියේ, පරිසර හිතකාමී ගොවිතැන කොටසෙහි ස`දහන් කර ඇත්තේ භූගත ජල සම්පත ආරක්ෂා කර ගැනීම ස`දහා ජල පෝෂක ප‍්‍රදේශ ආරක්ෂා කිරීමට පියවර ගනු ලබන බවය. නමුත් අද වන විට සිදු වන්නේ වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කිරීමට ඇති කදුකර ජල පෝෂක වනාන්තර විනාශ කර ගොල්ෆ් කී‍්‍රඩා පිටි හා හෝටල් ඉදි කිරීමට පියවර ගැනීමය. බලය ලබා ගැනීම ස`දහා රටට හිතකර යහපත් යෝජනා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල ස`දහන් කරමින් ජනතාව මුලා කර බලය ලබා ගත් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන් හා රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමන් ප‍්‍රමුඛ රජය රටේ සමස්ත සම්පත් විනාශ කිරීමට අද වන විට කටයුතු කරමින් සිටින ආකාරය නින්දාසහගතය.
ජල පෝෂක ලෙස හා අලි - ඇතුන්ගේ වාසස්ථාන ලෙස මේ වනාන්තර සම්පත වැදගත් වුව ද ව්‍යාපාරිකයින්ට හා දේශපාලකයින්ට එවන් කිසිදු වටිනාකමක් මෙම වනාන්තර පද්ධතියෙන් නොමැත. එම නිසා කාල්කන්නි ඔයේ හා වේලි ඔයේ ජල පෝෂක වනාන්තර එළිකර මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම ඔවුන්ට ගැටලූවක් නොවේ. එපමණක් නොව උඩවලව ජාතික වනෝද්‍යානය හා ඒ ආශ‍්‍රිත වනාන්තර අලි - ඇතුන් ගේ නිජබිමක් ලෙස අලි - මිනිස් සහජීවනයෙන් යුතු කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමේ හැකියාව පවතින මුත් දේශපාලන බලපෑම් මත ඒ සියල්ල බිඳ දමමින් නීති විරෝධී ලෙස මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාව ඇත. අවට ජනතාව අලි - මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වුව ද ආර්ථීක ලාභය ගැන පමණක් සිතන ව්‍යාපාරිකයින්ට හා දේශපාලකයින්ට ඉන් ගැටලූවක් නොමැත.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට උතුරු දෙසට අලි - ඇතුන් ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගය විහිදී ඇත්තේ දහයියාගල අභය භූමිය හරහා බෝගහපිටිය, සමනළ වැව වනාන්තරය, සොරගුණේ කැලය හා රජවක වනාන්තරය දක්වා ය. මේ ප‍්‍රදේශය බෝගහපට්ටිය - සමනළ වැව අභයභූමිය ලෙසට ප‍්‍රකාශයට පත් කිරීමට වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් වී තිබුණි. එසේ වුවත් අද වන විට බෝගහපට්ටිය - සමනළ වැව අභයභූමිය වෙනුවට එම වනාන්තර වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති නමුත් අනාරක්ෂිත සොරගුණේ නින්දගම් ඉඩමට අයත් වනාන්තර, කැලෑ පාළුවන්ගේ රජදහනක් ව පවතී. මේ තත්ත්වය ජල පෝෂක විනාශ කිරීමට හා අලි - මිනිස් සහජීවනය බිඳ හෙලීමට ප‍්‍රබල ලෙස බලපා තිබේ. එසේ පවතිද්දී අලි සමීක්ෂණ සිදු කර අලි - ඇතුන් සංරක්ෂණයට ක‍්‍රියාමාර්ග ගන්නා බවටත් ජල පෝෂක ආරක්ෂා කිරීමට කටයුතු කරන බවටත් නිලධාරීන් වහසි බස් දොඩවයි. නමුත් මේ වනාන්තරය රක්ෂිත තත්ත්වයට පත් කර ජල පෝෂක සුරක්ෂිත කිරීමට හා අලි - ඇතුන් ඇතුළු වනජීවීන් ගේ රැුකවරණය තහවුරු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විටත් නො හැකි වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වනාන්තරය ගොල්ෆ් පිටියකට මෙලෙස බිලි වීම පුදුමයට කරුණක් නොවේ.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින අලි - ඇත්තු දහයියාගල අභය භූමිය හරහා බෝගහපට්ටිය, සොරගුනේ හා සමනළ වැව වනාන්තර ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වන්නේ එහි පිහිටි කරමැටිය නම් සුවිශේෂී ලවණ නිධියෙන් ලවණ අවශ්‍යතාවය සපුරා ගැනීමට ය. මේ ප‍්‍රදේශයට අලින්ට අමතර ව ප‍්‍රමාණයෙන් විශාල ක්ෂීරපායී සතුන් බොහොමයක් ලවණ ලබා ගැනීමට එක්රැුස් වීම සිදු වේ.
සොරගුණේ වනාන්තරය යනු බෝගහපට්ටිය වනාන්තරය හා සම්බන්ධ ව පිහිටි අක්කර 12000 ක් පමණ වන සොරගුණේ දේවාලයට අයත් නින්දගම් ඉඩමකි. තව ද මේ වනාන්තරය කාල්කන්නි වනාන්තරය ලෙස ද හැඳින්වේ. වේලි ඔයේ සහ කාල්කන්නි ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වන්නේ සොරගුණේ වනාන්තරය යි. වේලි ඔය හා කාල්කන්නි ඔය හරස් කර ලබා ගන්නා ජලයෙන් ක‍්‍රියාත්මක වන වේලි ඔය වාරි ව්‍යාපාරයේ පැවැත්ම ර`දාපවතින්නේ ද සොරගුණේ වනාන්තර ප‍්‍රදේශයේ සුරක්ෂිතතාව මත ය. වේලි ඔය ව්‍යාපාරයෙන් දහයියාගල, මහ නෙටුල, කුඩා නෙටුල, බෝගස් වැව, හම්බෙගමුව, පොකුණුතැන්න, දිවුලාන ප‍්‍රදේශවල පිහිටි වැව් 27 කට පමණ ජලය ලබා දේ. ඒ යටතේ යල - මහ දෙකන්නය වගා කරනු ලබන කුඹුරු අක්කර ප‍්‍රමාණය 3000 ක් පමණ වේ. යෝජිත ගොල්ෆ් ව්‍යාපෘතියත් සමඟ ම මේ සියල්ල වැනසී යයි. ඊට හේතුව ගොල්ෆ් ක‍්‍රීඩා පිටිය හා හෝටලය ඉදි කිරීම සඳහා ඉවත් කරන වනාන්තර ප‍්‍රදේශය වේලි ඔයේ ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශය වන නිසා ය. මේ වනය එළි කිරීමත් සමඟ ම වේලි ඔය ව්‍යාපාරය උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙනු ඇත. එය තවත් දෙගුණ තෙගුණ වන්නේ ගොල්ෆ් ක‍්‍රීඩා පිටිය නඩත්තු කිරීම සඳහා යෙදීමට සිදු වන අති විශාල ජල ප‍්‍රමාණය නිසා ය. ඒ සඳහා අවශ්‍ය ජලය වේලි ඔයෙන් හෝ භූගත ජලයෙන් ලබා ගැනීමට සිදු වනු ඇත. එසේ නොමැති ව ඊට වෙනත් විකල්ප නොමැත. එසේ ජලය ලබා ගත හොත් සිදු වන්නේ වේලි ඔය ව්‍යාපාරය යටතේ වගා කරන සියලූ ගොවීන් ජලය නොමැති ව අවතැන් වීම යි.
වියළි කලාපයේ ගොල්ෆ් ක‍්‍රිඩා පිටියක් ඉදිකර එහි තණ පිටිය කොළ පැහැයෙන් පවත්වා ගැනීමට විශාල ජල ප‍්‍රමාණයක් යෙදිය යුතු අතර ම, යූරියා පොහොර ද විශාල වශයෙන් යෙදිය යුතු වේ. එසේ පවත්වා ගෙන යන තණ පිටියකට කෘමි උවදුරු ප‍්‍රමාණය වැඩිවන අතර, ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා අධික ලෙස කෘමිනාශක යෙදිය යුතු ය. එපමණක් නො ව පාංශූ ඛාදනය වැළැක්වීම සඳහා පස් අංශු බැද තැබීමට ඇළුමිනියම් අඩංගු සංයෝග තණ පිටියට යෙදිය යුතු වේ. මේ ආකාරයෙන් ගොල්ෆ් පිටියට අධික ව යොදන රසායනික ද්‍රව්‍ය අවසානයේ සාන්ද්‍රගත වන්නේ වේලි ඔය ව්‍යාපාරයෙන් ජලය සපයන වැව්වල ය. මෙලෙස දුෂණය වන ජලය දෛනික කටයුතු සඳහා භාවිතයට ගැනීමට වේලිඔයේ ජල පාරිභෝගිකයින්ට සිදුවනු ඇත. ඒ අනුව මේ ප‍්‍රදේශයේ සෞඛ්‍ය ප‍්‍රශ්න රැුසක් මතු කිරීමට මේ ව්‍යාපෘතිය හේතු වේ. එපමණක් නො ව වියළි කලාපයේ උග‍්‍ර පානීය ජල හිඟයක් හා ඒ ඔස්සේ සමාජීය ගැටලූ රැුසක් ඇති කිරීමට ද මේ ව්‍යාපෘතිය හේතු වනු ඇත. සොරගුණේ වනාන්තරය රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි රජවක යෝජිත රක්ෂිතය, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් වෙලන්විට යෝජිත රක්ෂිතය හා කොස්ගම යෝජිත රක්ෂිතය හා සම්බන්ධ ව පවතී. මීට අමතර ව මේ වනාන්තරය වලවේ ගඟ දක්වා ම ව්‍යාප්තව ඇත. එබැවින් මෙය වලවේ ගෙ`ග් ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ද ක‍්‍රියාත්මක වේ.
එසේ ම මේ වන්නාන්තර ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගං`ගාශ‍්‍රිත වනාන්තර සහ සැවානා තණ බිම්වලින් සමන්විත ය. මෙහි ශාක විවිධත්වය පිළිබඳ ව මෙතෙක් ප‍්‍රමාණවත් අධ්‍යයනයක් සිදු කර නොමැති මුත් ඌව ප‍්‍රදේශයේ පමණක් ව්‍යාප්තව ඇති ලංකාවට ආවේණික වඳවීමේ තර්ජනයට පාත‍්‍ර වී ඇති ඌව මැන්දෝරා (Hopea Cordifolia) ශාකය ඇතුළු ව කොන්්, මී, කුඹුක්, මිල්ල, බුරුත, වෙලං, මාදං, අරළු, බුළු, නෙල්ලි වැනි ශාක දැක ගත හැකි බව නිරීක්ෂණ වල දී අනාවරණය වී තිබේ.
බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර ප‍්‍රදේශයේ සමස්ත පෘෂ්ඨවංශී සත්ත්ව විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර තිබේ. Herpetological Foundation of Sri Lanka ආයතනයේ එල්. ජේ. මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා විසින් මේ අධ්‍යයනය සිදු කර ඇති අතර, එහි වාර්තාව A Vertebrate Faunal Survey of Samanala wewa ,Towards Declaration as a Wildlife National Park" නමින් සකස් කර තිබේ. මේ වාර්තාව අනුව බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර පද්ධතියේ පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩ 5 ට අයත් විශේෂ 390 ක් පමණ වාර්තා වී තිබේ. ඉන් විශේෂ 59 ක් ලංකාවට ආවේණික වෙති. ලංකාවේ වාර්තාවන පෘෂ්ඨවංගී සත්ත්ව විශේෂ අතුරින් 40% ක් සහ ලංකාවට ආවේණික පෘෂ්ඨවංශීන් අතුරින් 19% ක් මේ වනාන්තර පද්ධතියෙන් වාර්තා වී ඇති අතර, එය මේ වනාන්තරයේ වටිනාකම ඉතා හොඳින් අවබෝධ කර දීමට වැදගත් වේ.

බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර ප‍්‍රදේශයේ වාර්තාවන පෘෂ්ඨවංශී සත්ත්ව විවිධත්වය


සත්ත්ව කාණ්ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන
මත්ස්‍යයින් 39 8
උභයජීවීන් 23 11
උරගයන් 76 29
පක්ෂීන් 208 09
ක්ෂීරපායින් 44 03
එකතුව 390 59

මේ අධ්‍යයනයට අනුව ඉතා දුර්ලභ සත්ත්ව විශේෂ කිහිපයක් මේ වනාන්තර පද්ධතියෙන් අලූතින් වාර්තා කිරීමටත් විද්‍යා ලොවට නව සත්ත්ව විශේෂ කිහිපයක් සොයා ගැනීමටත් හැකි ව තිබේ. එපමණක් නො ව තෙත් කලාපීය වනාන්තරවල පමණක් වාර්තා වන සමහර සත්ත්ව විශේෂ වියළි කලාපයේ පිහිටි මේ වනාන්තර පද්ධතියෙන් වාර්තා කිරීමට හැකි වීම මේ වනාන්තර පද්ධතියේ සුවිශේෂත්වයට තවත් හේතුවක් වේ.
මෙහි දියපහරවල ලංකාවට ආවේණික, වඳවීමේ අවධානමට මුහුණ පා ඇති බුලත් හපයා (Pethia nigrofosciata) සහ තල් කොස්සා (Belonita signata) යන තෙත් කලාපීය මත්ස්‍ය විශේෂ වාර්තා වීම සුවිශේෂත්වයකි.
උභයජීවීන් අතුරින් (pseudophilauts) ගනයට අයත් පදුරු මැඩියන් විශේෂ දෙකක් මේ ප‍්‍රදේශයෙන් අලූතින් වාර්තා කිරීමට හැකි ව තිබේ. එම විශේෂ දෙක මේ වන විට නාමකරණය කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
ලංකාවේ ඉතාම දුර්ලභ සිව්පා උරගුන් විශේෂ දෙකක් මේ ප‍්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි ව තිබේ. එනම් වඳවීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණපා ඇති පදුරු කටුස්සන් විශේෂයක් වන Ophisops leschenaultti හා ලංකාවට ආවේණික, වඳවීමේ අවධානමට පාත‍්‍රව සිටින, රුක් වාසී හිකනලූන් විශේෂයක් වන Das ia halianus ය. මීට අමතර ව පොළොන් තෙලිස්සන් අයත් වන Trimeresurus ගනයට අයත් එක් විශේෂයක් හා පළා පොළොගුන් අයත් වන ඔරසපැරුිමරමි ගනයට අයත් එක් විශේෂයක් මේ ප‍්‍රදේශයේ අලූතින් සොයා ගැනීමට හැකි ව තිබේ. එම විශේෂ තවම නාමකරණය කිරීම සිදු කර නොමැත. තවද පාංශුවාසී සර්පයන් වන කනඋල්ලන් අයත්වන Typhlops ගනයට අයත් විශේෂ දෙකක් ද මේ වනාන්තරයෙන් අලූතින් සොයා ගැනීමට එම අධ්‍යයනයේ දී හැකි ව තිබේ.
මේ වනාන්තර පද්ධතියෙන් ඉතා දුර්ලභ නේවාසික හා සංක‍්‍රමණික පක්ෂි විශේෂ ගණනාවක් වාර්තා කර තිබේ. ඒ අතුරින් වත රතු මල් කොහා (Red - feced Malkoha) ගංගාශ‍්‍රිත වනාන්තරවලින් වාර්තා කර ඇත. දුර්ලභ පක්ෂීන් වන හිස රන් කහකුරුල්ලා :(Golden oriole) තඹල බස්සා (Bay Owl) රත් කොණ්ඩ කොහා (chetnut-winged cuckoo) කොඩ කෑරලා (Rufous Woodpecker) බඩ රතු රාජාලියා (Rufous-bellied Hawk eagle) ගෙබිකට බස්සා (Frogmouth)යන විශේෂ මේ වනාන්තර ප‍්‍රදේශයේ වාර්තා වෙති.
ක්ෂීරපායින් අතුරින් මේ වනාන්තර පද්ධතියෙන් අලින් ගේ සැලකිය යුතු ගහනයක් වාර්තා වෙති. ලංකාවට ආවේණික දුර්ලභ ක්ෂීරපායී විශේෂයක් වන රන් හෝතඹුවා (Golden Plam civet)ඇතුළු ව විශේෂ රැුසක් මෙහි වාර්තා වීම විශේෂත්වයකි. මෙවන් සුවිශේෂී ජෛව විවිධත්වයක් දරා සිටින ලංකාවෙන් අලූතින් සොයාගත් ඉතා ම දුර්ලභ හා මුළු ලොවින් ම මේ ප‍්‍රදේශයට පමණක් සීමා වී ඇති වී විශේෂ හයකට වාසස්ථාන සපයන සුවිශේෂී අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශයක් වන බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර ප‍්‍රදේශය ගොල්ෆ්් කී‍්‍රඩා පිටියකට යට කිරීම නො ව ඉතා ම කඩිනමින් ආරක්ෂා කළ යුතු ව ඇත.
මෙකී සමස්ත ප‍්‍රදේශයේ අලි - මිනිස් සහජීවනය ඇති කිරීම සඳහා ආරක්ෂිත වනාන්තර පද්ධතියක් ගොඩනැඟීම හා ඒ සඳහා නිවැරැුදි ඒකාබද්ධ සැලැසුමක් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක් ව සකස් කළ යුතු ය. එමඟින් සමනළ වැව ජලාශයේ සිට බදුලූදෙන, වේලිඔය, කල්තොට, සොරගුණේ, මහලන්ද, සිරිපුර වැව දක්වා සමස්ත ප‍්‍රදේශය දහයියාගල අභය භූමියට සම්බන්ධ කළ හැකි ය. එතැන් සිට උඩවලව ජාතික වනෝද්‍යානයටත්, වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය හරහා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයටත් එහි සිට යාල වන සංකීර්ණය දක්වාත් අලි - ඇතුන් ගේ වාසස්ථාන සහ සාම්ප‍්‍රදායික සංක‍්‍රමණික මාර්ග සංරක්ෂණය කළ හැකි අතර, වනාන්තර පද්ධතියක් ලෙස මේ ආරක්ෂිත ප‍්‍රදේශ ජාලය වනජීවීන් වෙනුවෙන් සුරක්ෂිත කළ හැකි වනු ඇත.
එපමණක් නො ව මේ වනාන්තර පද්ධතියේ පැවැත්ම හා රක්ෂිත වනාන්තර ජාලයේ පැවැත්ම දෙකඩ කර අලි ඇතුන් ගේ සංක‍්‍රමණික මාර්ග අහුරමින් ඊනියා සංවර්ධන හා පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති වේෂයෙන් ස්වාභාවික සම්පත් ගිල ගැනීමට හා ගොවි ජනතාව අවතැන් කිරීමට ”ඉකෝ” ලේබලය යටතේ ක‍්‍රියාත්මක වන ගොල්ෆ්් ක‍්‍රීඩා පිටිය ද සම්පූර්ණයෙන් ම නතර කිරීමට පියවර ගත යුතු ව ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය ද වහා ම පියවර ගත යුතු ව ඇත. මේ වන විට සොරගුනේ දේවාලයට අයත් නින්දගම් ඉඩම් ලෙස පවතින වනාන්තර මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර වගාවන් ව්‍යාප්ත කිරීම හා ඛණිජ ද්‍රව්‍ය කැනීම් කිරීම මහ පරිමාණයෙන් සිදු වේ. මේ නිසා මේ ප‍්‍රදේශ වල ජල මූලාශ‍්‍ර සියල්ලම විනාශයට ලක් වෙමින් තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ කිසිදු අනුමැතියකින් තොරව මේ වන විට මෙම ඉඩම් මහ පරිමාණයෙන් විවිධ සමාගම් හා පුද්ගලයින් සතු කිරීම සිදු වෙමින් පවතී. මේ තත්ත්වය පාලනය කිරීම ස`දහා මෙම ඉඩම් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දිය යුතුය. එසේ නීතිමය ආරක්ෂාව ලබා දීම ස`දහා එම ඉඩම් රජයට පවරා ගැනීමට අවශ්‍යය නැත. එම ඉඩම් නින්දගම් ඉඩම් ලෙස පවතිද්දීම අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර එම ජල පෝෂක වනාන්තර වල සුරක්ෂිතතාව ඇති කළ හැකිය. එසේ සිදු නොකළහොත් මෙම සමස්ත ප‍්‍රදේශයම ඉදිරියේදී නායේ යාමට හා උග‍්‍ර ජල හි`ගයකට ගොදුරු වීම වැළැක්විය නොහැකි වනු ඇත.

ගොල්ෆ් පිටිය සඳහා කපා ඉවත් කිරීමට යෝජිත ශාක

ගොල්ෆ් පිටිය සඳහා කපා ඉවත් කිරීමට යෝජිත වනාන්තරය