රිටිපන්න ධීවර කර්මාන්තය

රිෂිනි දිල්ෂානි

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය තරුණ මාධ්‍ය සාමුහිකය(MYMC)





ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වශයෙන් මහා සාගරයකට උරුමකම් කියන රටකි. ඒ සාගර සම්පත ධීවර කර්මාන්තයට මං පාදන්නකි. ධීවර කර්මාන්තයේ ප්‍රභේද අතරින් රිටිපන්න ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික වූ පාරම්පරික , සම්ප්‍රදායික ක්‍රමයකි. රිටිපන්න ධීවර කර්මාන්තය ඇමක් නොමැතිව බිලීබාන එකම ක්‍රමයයි.

රිටිපන්න ධීවර කර්මාන්තයේ ඉතිහාසය විමසා බලන විට වසර 100-150 ක අතීතයට දිව යන්නකි. ජන මූලාශ්‍රවලට අනුව මෙම රිටිපන්න ක්‍රමය ඉන්දියාවෙන් පැමිණි ‘කල්ලන්’ නැමැති මිනිස් කණ්ඩායමක් විසින් මාතර ගාන්ධාර වරායේ ආරම්භ කොට ඇත. ඉන් පසු ශ්‍රී ලාංකික ජනයා මෙම ධීවර කර්මාන්තයට හුරු වූ බව ජන මූලාශ්‍රවල සඳහන් වේ.දකුණු වෙරළ තීරයේ ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි කොග්ගල , අහංගම ,වැලිගම, මිරිස්ස වැනි ප්‍රදේශ රැසක මෙම ධීවර කර්මාන්තය දක්නට ලැබේ. මැයි සිට ඔක්තෝබර් දක්වා දිවෙන කාල පරිච්ඡේද සිදුවන මෙම මසුන් ඇල්ලීම වාරකන් කාලය උදාවීමත් සමගම අවසන් වේ. රිටිපන්න වෘත්තියට වඩාත්ම සුදුසු වන්නේ කැළඹිලි රහිත මුහුදු තීරයයි. රිටිපන්න ධීවර කර්මාන්තයේ දී ඉලක්ක ගත වන මාලු වර්ග වන්නේ කෝරලුවා, ඇහැලම්බරුවා, කොරඹුරුවා හා බොල්ලන් වැනි කුඩා මසුන්ය . උදේ කාලයේදී වෙරළ ආසන්නයට පැමිණෙන මෙම කුඩා මසුන් සවස් කාලය වනවිට නැවත මුහුද කරා ඇදෙයි. ධීවර භාෂාවෙන් රිටිපන්න කර්මාන්තය ‘කොරඹුරු පන්නය’ ලෙස හඳුන්වයි.

එම කර්මාන්තයට භාවිතා කරන උපකරණ වන්නේ බ්ලීපෙත්ත, බිලී කටුව හා රිටයි. මෙම බිලීකටුව සාදාගැනීමට අච්චුවක් වශයෙන් දැලිපොත්ත භාවිතා කරයි. දැලිපොත්ත යනු දැල්ලාගේ පිට ආවරණයයි. මෙම දැලිපොතු වෙරළේදී ඕනෑ තරම් හමුවේ. ධීවරයින් ඒවා ගෙනැවිත් මිරිදියෙන් සෝදා දුමෙහි සති තුනක් පමණ තබා වේලා ගනී. අනතුරුව දැලිපොත්ත කුඩා කැබලි වලට කපා එම කුඩා කැබලි ගල් ලෑල්ලක තබා ගින්දර මගින් රත් කරයි.ඉන්පසු බිලී කටුවෙන් අච්චුව සාදා ගන්නා අතර උණු කරගත් සුදු ඊයම් දියරය අච්චුවට වත්කරයි. විනාඩි 5න් පමණ අච්චුවෙන් බිලී කටුව ගලවා ගත යුතුය. මේ කාර්යය සෑම ධීවරයකුටම සිදු කළ නොහැකි අතර ඒ සඳහා පාරම්පරික දැනුම හා අතේ හුරුව අවශ්‍ය වේ. බිලී පිත්තට ගන්නේ කිතුල් ගසේ අත්තකි.කිතුල් පිත්තක් රැගෙන විත් එය සුළඟේ වේලා ගිනිගොඩක දමා කෙලින් කර ගනී. කිතුල් පිත්තට අමුණන යොත හෙවත් ලණුව සඳහා නොම්බර බින්දුවේ තංගුස් භාවිතා කරයි. මුල් කාලයේ ඇලස්ටෝනියා ලීයෙන් සෑදූ රිටක් භාවිතා කළ අතර වර්තමානයේ ඒ වෙනුවට කඳුරු , කඩොල් වැනි ලී වර්ගයක් හෝ ගැල්වනයිස් බටයක් භාවිතා කරයි. එම රිට නොගැඹුරු මුහුදු තීරයෙහි සිටුවීම මහත් අපහසු කාර්යයකි.

මුහුදු දිය අතරමැද රළපහර සමඟ ගැටෙමින් එක් රිටක සමබරව හිඳ මාළුබාන මෙම ධීවරයාගේ ජීවන රටාව නම් එතරම් සුන්දර නැත. අතීතයේ සිට තම දවසේ වියදම සොයාගැනීමට රිටිපන්න වෘත්තීය වෘත්තියෙහි නියැළුණු මොවුන් පසු කලෙක අපට උරුම වූ රිටිපන්න ක්‍රමය විදේශීයන්ට සංචාරක කර්මාන්තයක් ලෙසද සිදු කළේය. නමුත් ගැඹුරු මුහුදේ සිදු කරන බහුදින යාත්‍රා මගින් මාළු ඇල්ලීම හා දැල් ක්‍රමය හේතුකොටගෙන නොගැඹුරු වෙරළ තීරයට කුඩා මාළු වර්ග පැමිණීම ඉතා අඩු වී ඇත. රිටිපන්න ධීවරයන් දකින ආකාරයට එය මෙම වෘත්තියට මරු පහරක් එල්ල කොට ඇත. අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් අහිමි වී ගිය සංචාරක කර්මාන්තයෙන් ලැබුණු පන්නරය වර්තමානය වන වන විට නැවත පණ ගැන්වෙමින් පවතී .

නමුත් රිටිපන්න ධීවරයාගේ බලාපොරොත්තුව මෙම වෘත්තිය ධීවර කර්මාන්තයක් ලෙස ම ඉදිරියට සිදු කිරීමටය.මෙම රිටිපන්න වෘත්තිය කර්මාන්තයක් වශයෙන් ධීවර අමාත්‍යාංශයට යටත් වේ . ශ්‍රී ලංකාවට උරුම වූ දකුණු ලක සුන්දරත්වය විදහා පාන පාන මෙම රිටිපන්න ධීවර කර්මාන්තයේ හා ධීවරයාගේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද ?

- ගාල්ලේදී පැවති තරුණ මාධ්‍ය වැඩමුළුවේදී කොග්ගල කේෂ්ත්‍ර අධ්‍යනයේදී ලබා ගත් අත්දැකීම් අනුව සකස් කරන ලද ලිපියකි .





















pic credit by :Suranga Senevirathna(MYMC)