පොරොන්දු ඉටු කරනු !
ක්ෂුද්‍ර ණය කපා හරිනු !

2019/02/27





ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත් කාන්තා එකතුව මූලිකත්වයෙන් ජනතා උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය පෙබරවාරි 27 දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කර අවසානයේ පා ගමනින් ජනාධිපති කාර්යාලයට පැමිණියහ. එහි දී උද්ඝෝෂකයන් සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර නියෝජිත කණ්ඩායමක ට ජනාධිපති නියෝජිතයෙකු මුණගැසීමට අවස්ථාව ලැබුණු අතර එම සාකච්ඡාය සාර්ථක නොවූ අතර මාර්තු 04 දින වනවිට සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු විය. දිස්ත්‍රික්ක 12 ක ක්ෂුද්‍ර ණය නිසා පීඩාවට කාන්තාවන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වූහ.

ක්ෂුද්‍ර ණය කියන්නේ කෙබඳු ණයක් ද?

ස්වයං රැකියා, ගොවිතැන්, සත්ව පාලනය, කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර කරගෙන යෑමෙන් කාන්තාවන්ගේ සමාජ තත්වය උසස් කිරීම තුලින් දුප්පත්කම දුරලීමඬ යන තේමාව ඔස්සේ කාන්තාවන් ඉලක්ක කරන ණය ක්‍රමයකි. කණ්ඩායම් වශයෙන් තම තමන් අනෙකුන්ට ඇප වීම මත ණය ලබා ගැනීමට හැකියි. ණය ආපසු ගෙවීමට ඇති හැකියාව ගැන කිසිදු සොයා බැලීමක් කරන්නේ නැත.

ක්ෂුද්‍ර ණය කියන්නේ සහන ණය ක්‍රමයක්ද?

ස්ථිර අදායම්, දේපල, තැන්පත් ධනය කිසිවක් නොමැති ඉතාම දුප්පත්, අනාරක්ෂිත දිවියක් ගත කරන ජනයාට මේ ණය ලබා දුන්නත් එය සහන ණය ක්‍රමයක් නොවේ. ශ්‍රී ලංකා මහබැංකුව 2018දී ප්‍රකාශිත උපරිම පොලි අනුපාතය වන 35% යටතේ පවා දැනට බැංකු/මුල්‍ය ආයතන ණය සඳහා අයකරන වැඩිම පොලි අනුපාතය ක්ෂුද්‍ර ණය සඳහා පනවා ඇත. ණය ලබා දීමේදී මුල්‍ය කොම්පැනි පොලිය පිලිබඳ අවබෝධයක් ලබා දෙනවා තියා පොලිය කොපමණ දැයි සඳහන් කරන්නේවත් නැත. මහබැංකුව පනවා ඇති පොලී සීමාව අභිභවා යන පොලියක් බොහෝ කොම්පැනි අය කරයි. වැල්පොලිය පදනම් කරගත් දඩ පොලිය සලකු විට ක්ෂුද්‍ර ණය තවමත් අධික පොලියකට ලබා දෙන තත්වයක් ඇත.

35%ක පොලියකට ණයක් ලබා ගෙන ඒ ණය ගෙවීමට සරිලන ලාභයක් ඉපැයිය හැකි ව්‍යාපාරයන් මොනවාද?

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික වටපිටාව අනුව ගොවිතැනක්, සාමාන්‍ය ව්‍යාපාරයක්, ගෙවතු ආශ්‍රිත සත්ව පාලනයක් කිරීමෙන් කිසිසේත්ම එවැනි ලාභයක් නිපැදවිය නොහැක. එසේ ලාභ ඉපැයීමටනම් මෙම ණය ලබා ගන්නා මිනිසුන් නීත්‍යානුකූල නොවන, සමාජ විරෝධී මත්පැන් පෙරීම, කුඩු විකිණීම ව්‍යාපාරයන් වලට යොමු විය යුතුය.
ව්‍යාපාරයක් කිරීමට ඉල්ලූ ණය ලබා දීමේදී ණය මුදල දෙන්නේ පළමු වාරිකය කපා ගෙනයි. එමෙන්ම බොහෝ මුල්‍ය කොම්පැනි, ණය ලබා දී සති දෙකකින්, මාසයකින් ණය අයකිරීම අරඹයි.

ඉතින් කොහොමද ණය ගෙවන්නේ?

ව්‍යාපාරයක් කරගැනීමට සරිලන මුදලක් නොලැබීමත්, ණය දුන් විගස ආපසු අයකරගැනීම ඇරඹීමත්, අධික පොලියත් නිසා බොහෝ ක්ෂුද්‍ර ණයගැතියන් ණය ගෙවීමට අලූත් ණය ලබා ගැනීමට පෙලැඹී ඇත. මේ නිසා මුල්‍ය කොම්පැනි කිහිපයකින් මෙන්ම පොලි මුදලාලිලාගෙන්, ඬේලි ණය ක්‍රම ආදී ණය ජාලාවක මේ මිනිසුන් පැටලී ඇත. ඉඩෝරය, ගංවතුර, කෘමි උවදුරු නිසා වගා පාලූවිමත්, සමස්ත ආර්ථිකයේ ඇති කඩා වැටීමත් හමුවේ ගම්/නගර වෙනසක් නැතිව රට පුරා ක්ෂුද්‍ර ණය ලබා ගත් කාන්තාවන් ණය කන්දකට යටවී ඇත.
ආහාර, සෞඛ්‍ය, දරුවන්ගේ අධ්‍යාපනයට දැරිය යුතු වියදම් මග හරිමින් ලැබෙන සෑම අදායමක්ම ණය ගෙවීම සඳහා යොදවයි. දැනට ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් ලක්ෂ 28 ක්ෂුද්‍ර ණයෙන් පීඩා විඳියි. මෙයින් ලක්ෂ 24ක් කාන්තාවන් වේ.

ණය ගෙවීමට මිනිසුන්ට අදායම් නැත්නම් කොම්පැනි මොකද කරන්නේ?

කෙසේ හෝ ණය ආපසු අය කරගැනීම කොම්පැනි වල අභිප්‍රායයි. නිතර නිතර නිවෙස් වලට ගොස් කරදර කිරීම, තර්ජනය කිරීම, පරුෂ වචනයෙන් බැන වැදීම, නින්දා කිරීම මෙන්ම අයුතු යෝජනා කිරීම වැනි ක්‍රියා මාර්ග තුලින් ණය එකතු කරගැනීමට මුල්‍ය කොම්පැනි උත්සහ කරයි. ණය එකතු කරන්නට එන ඇතැම් පිරිමි ණය ගෙවීමට අපහසු කාන්තාවන්ට ඇඟ විකුණා හෝ ණය ගෙවීමට බලකර සිටියි.
මෙවැනි ක්‍රියා නිසා බොහෝ ණයගැති කාන්තාවන්ගේ පවුල් කැඩී ඇත. ණය ගෙවීමට, පවුල් නඩත්තු කිරීමට සරිලන අදායම් නැති තැන බොහෝ කාන්තාවන් ඇඟ විකිනීමට පෙළඹී ඇත. සමහර කාන්තාවන් මැද පෙරදිග යයි. කාන්තාවන් බලගන්වනවා වෙනුවට ක්ෂුද්‍ර මුල්‍ය කොම්පැනි ඔවුන්ගේ ආත්ම අභිමානය සහ ගෞරවය උදුරා ගෙන ඇත. මේ තත්වය හමුවේ දැනට කාන්තාවන් 200කට අධික පිරිසක් සිය දිවි හානි කරගෙන ඇත.

ක්ෂුද්‍ර ණය මෙතරම් නරක නම් ඒවා පවතින්නේ කොහොමද?

ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරය යනු අතිශය ලාභ ලබන ව්‍යාපාරයකි. මේ වන විට තම ආයෝජන වලට උපරිම ලාභයක් අත් කරගැනීමේ අරමුණින් ලෝකය පුරා විවිධ ආයෝජන බැංකු, කොටස් බැංකු, විශ්‍රාම වැටුප් අරමුදල් මෙන්ම වාණිජ බැංකු ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරය තුල තම මුදල් ආයෝජනය කරමින් සිටි. ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට ණය දීමට අකමැති වාණිජ හා විශේෂ බලපත්‍ර ලාභී බැංකු පවා ක්ෂුද්‍ර මුල්‍ය කොම්පැනි වලට ණය දෙයි. මෙසේ ප්‍රතිපාදන ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය කොම්පැනි ලංකාව පුරා ව්‍යාප්ත වීමට අමතරව ලෝකය පුරාද ව්‍යාප්ත වී ඇත.
අනෙක් පැත්තෙන් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ණය හැර අන් සරණක් දුප්පත් ශ්‍රී ලාංකිකයින්ට නොමැත’

ක්ෂුද්‍ර ණය අර්බුදය මෙතරම් උග්‍ර වෙනතුරු ආණ්ඩුව මොකද කලේ?

කාන්තාවන් 180කට අධික සංඛ්‍යාවක් සිය දිවි නසාගැනීම තුලින් ඇතිවූ කෝපය නිසා උතුරු නැගෙනහිර සහ පොළොන්නරුවේ ජනයා 2017 සහ 2018 උද්ඝෝෂණ කරන තුරු ආණ්ඩුව මේ ප්‍රශ්නයට මැදිහත් වුයේ නැත. එල්ල වූ දැඩි බලපෑම හමුවේත් ඉදිරි මැතිවරණයකදී ඉන් එල්ල විය හැකි බාධක නිසාත් එවකට සිටි ආණ්ඩුව තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ණය කපා හැරීමට තීරණය කළේය. ආණ්ඩුව ගත් තීරණයක් වුවත් කපන්නේ මොන ණය දැයි තීරණය කලේ මුල්‍ය කොම්පැනි විසින්ය. ඇත්තෙන්ම සිදු වුනේ ණයගැතියන්ට සහනයක් වනු වෙනුවට මහජන බදු මුදල් මුල්‍ය කොම්පැනි වලට තෑග්ගක් ලෙස ලබා දීමයි.
මුල්‍ය කොම්පැනි අධික පොලියකට කොල්ලකාරී ලෙස ණය දීම තුලින් කාන්තාවන් ගොදුරු කරගන්නා බවට සාක්ෂි බොහොමයක් තිබුනත් ආණ්ඩුවට හෝ මුල්‍ය කොම්පැනි නියාමනය කිරීමට බලය ඇති ශ්‍රී ලංකා මහබැංකුව එම කොම්පැනි වලට එරෙහිව නීතිමය පියවර ගත්තේ නැත. මුල්‍ය කොම්පැනි පාලනයටත් ණය ගැතියන් ආරක්ෂා කිරීමටත් නීති පද්ධතියක් ණයට ගොදුරු වූ කාන්තාවන් ඉල්ලා සිටියත් මහබැංකුව කලේ ක්ෂුද්‍ර ණය සඳහා 35%ක උපරිම පොලියක් නිර්දේශ කිරීම පමණි.
දිනෙන් දින උග්‍ර වන ක්ෂුද්‍ර ණය අර්බුදය දේශපාලඥයින්ට ඡන්ද ගුණ්ඩුවක් වී ඇත. සුළු ගොවියන්, ධීවරයින්, මැදපෙරදිග සේවයේ නියැලී ගෘහසේවිකාවන්, ඇගලූම් සේවිකාවන් ආදී ශ්‍රී ලංකා ආර්ථිකයේ අභිවෘද්ධියට වැඩියෙන් දායක වන කණ්ඩායම් ණයට ගොදුරු වන විට ආණ්ඩු කරන්නේ ව්‍යාපාරික පැලන්තියට සහන සැලසීමයි.

අප විසින් කලයුත්තේ කුමක්ද?

වත්මන් ජනාධිපතිට ලක්ෂ 69ක් චන්දෙ දුන්නෙ ක්ෂුද්‍ර ණය කපා හරින්නටයි. එය නොකර නැවත බලය ඉල්ලීමට සදාචාර සම්පන්න අයිතියක් නැත. ණය ලබා ගැනීමේ ප්‍රතිලාභ ඇත්තේ ණය ලබා ගත් කාන්තාවන්ට නොව මුල්‍ය කොම්පැනිවලට බවද දැන් තහවුරු වී ඇත. ණය ලබා ගැනීමෙන් ව්‍යවසායකයින් වී ආර්ථික දියුණුව අත් කරගැනීම අසාර්ථක සංවර්ධන උපාය මාර්ගයක් වන බවද තහවුරු වී ඇත. අවශ්‍යය වී ඇත්තේ ස්ත්‍රීන්, මිනිසුන් ලෙස ගෞරවයෙන් ජීවත් වීමටත් ආහාර, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි මුලික අවශ්‍යතා සපුරා ගැනීමට සරිලන ජීවනොපයන් ඇති කල හැකි ආර්ථික ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කිරීමයි. ඊට මුලික තත්වය සකස් කරගැනීමට අපේ ඉල්ලීම්,

*සියලූ ක්ෂුද්‍ර ණය කපා හරිනු !

*ක්ෂුද්‍ර මුල්‍ය ණය පීඩාකාරී ණය ක්‍රමයකි. ක්ෂුද්‍ර මුල්‍ය කොම්පැනි අහෝසි කරනු !

*සමුපකාර ක්‍රමය පදනම් වූ ඉතුරුම් සහ ණය ක්‍රමයක් වහාම හඳුන්වා දෙනු !

*පීඩාකාරී ණය අයකරගැනීමට නීතිය භාවිතා නොකරනු !

*දේශපාලන බල හුවමාරුවට ක්ෂුද්‍ර ණය වින්දිතයින් භාවිතා නොකරනු !

ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව