කාන්තාවන්ට විපත් ගෙනදුන් සියලූ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු !

2019/03/07





ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙතින් ලබාගත් ණය හා අතිශය අසාධාරණ වැල් පොලී ක‍්‍රමයට අයකරනු ලබන පොලී ගෙවීමට නොහැකිව අසරණ භාවයට පත්වූ කාන්තාවන් 169 දෙනෙකු දැනටමත් සියදිවි නසා ගෙන ඇත. දැනට 2,898,000 කට වැඩි සංඛ්‍යාවක් මෙම ණය උගුලට ගොදුරුව ඇති අතර එයින් 84% ක්ම, එනම් 2,439,000 ක් ම කාන්තාවන් ය. යුද්ධයෙන්, දරිද්‍රතාවයෙන්, නියඟයෙන්, වගා පාළුවෙන් පීඩාවට පත්ව සිටින ඔබවද දැනටමත් මෙකී මූල්‍ය සමාගම් විසින් තවදුරටත් අසරණ කරමින් අන්ත අසරණ තත්වයට ඇද දමා තිබෙන්නට පුළුවන. දැනටමත් සියදිවි නසාගත් කාන්තාවන් 169 ට මීළඟට එකතු වන්නේ ඔබ විය හැකිය. දැනටමත් මේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය කි‍්‍රයාවලිය විසින් ඔබට වෙනත් විකල්පයක් ඉතිරිකර නැතිවා විය හැකිය. මේ තත්වය තුල නිහඬව 169 දෙනෙකු තෝරාගත් අවසන් තේරීමට යොමු වෙනවාද, නොඑසේනම් මේ අතිශය අසාධාරණ ක‍්‍රියාවලියට එරෙහිව දැන්වත් නැගී සිටිනවාද? තීරණය ඔබ සතුයි.

පසුගිය දශකයකට වැඩි කාළයක් තුල කිසිදු රාජ්‍ය නියාමනයකින් තොරව හතු පිපෙන්නාක් මෙන් බිහිවූ ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් අතිශය අසාධාරණ පොලී අනුපාත යටතේ සති ණය, කණ්ඩායම් ණය ආදී ලෙස විවිද වූ උපක‍්‍රමයන් භාවිතා කරමින් ග‍්‍රාමීය කාන්තාවන් ණය ගැතිභාවයට ඇද දමන ලදී. එකී ණය ලබාදීමට මෙම සමාගම් හා ඒවායින් පැමිණෙන නියෝජිතයින් විසින් විවිධ බලාපොරොත්තු ලබාදෙමින් කාන්තාවන් වෙත අවිධිමත් ආකාරයට ණය ලබාදුන්නේ කිසිදු ණය පිලිබඳ පිළිගත් කාර්ය පටිපාටියක් හෝ මූල්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකරමිනි. එකී උගුලට ඔවුන් හසුකර ගත්තේ දැනටමත් යුද්ධයෙන්, දරිද්‍රතාවයෙන්, නියඟයෙන්, වගා පාළුවෙන් හා අනේකවිධ ගැටලූ වලින් පීඩාවට පත් මෙරට ග‍්‍රාමීය කාන්තාවන් ය. මෙකී වැල් පොලී ණය එකතු කිරීමට මෙම සමාගම් තර්ජනය, බලහත්කාරය, ලිංගික පීඩනය, කුල පීඩනය, නින්දා අපහසායන් ඇතුලූ සියලූම උපක‍්‍රමයන් යොදා ගනිමින් කාන්තාවන් අසරණභාවයේ අන්තයට ඇද දමති. මෙම සමාගම් වල හැසිරීම හුදෙක් සදාචාර විරෝධී වනවා පමණක් නොව ජනතාවගේ අයිතිවාසිකම් කඩකරමින් බලහත්කාරකම් භාවිතා කිරීමෙන් ඔවුන් නීතිමය වරදක්ද සිදු කරති. එනම්, අප මේ මුහුණ දෙන්නේ අතිශය අශීලාචාර හා නීති විරෝධී තර්ජනයකට ය.

මේ සියලූ තර්ජනයන් තුල තම ආත්ම ගරුත්වය බිංදුවට ඇද වැටෙන බිරින්ඳෑවරුන්, මව්වරුන්, දියණියන් තමන්ගේ පවුල තුල සහ දරුවන් ඉදිරියේ මුහුණ දෙන අනේකවිධ අභියෝගයන් විසින් සමස්ථ පවුලම අර්බුදයට ලක් කරයි. සමාජයේ මූලික ඒකකය වන පවුල තුල නිර්මාණය වූ මේ අභියෝගය සමස්ථ සමාජයේම පැවැත්ම අභියෝගයට ලක් කිරීමකි. මෙරට ආණ්ඩු මුණිවත රකිමින් වක‍්‍ර සහයෝගය දෙමින් අනියමින් ප‍්‍රවර්ධනය කළේ මේ කුරිරු කි‍්‍රයාදාමය යි.

මෙරට ආණ්ඩු විසින් මෙම කි‍්‍රයාදාමයට අනියමින් රුකුල් දුන්නේ තනි පුද්ගල ණය මඟින් ආර්ථික සමෘද්ධිය අත් කරගත නොහැකි බවට දශක හතරකට එහා ගිය අසාර්ථකත්වයේ කතාන්තරයන් දහස් ගණනක් පවතින තත්ත්වයක ය. සත්‍යය නම් මෙම ආණ්ඩුවලට මෙරට ග‍්‍රාමීය ආර්ථිකය නඟා සිටවීම සම්බන්ධයෙන් කිසිදු දැක්මක් නොමැති වීමයි. ඔවුන් තවදුරටත් දිරිමත් කරමින් සිටින්නේ මෙරට ග‍්‍රාමීය ආර්ථිකය හා කාන්තා ශ‍්‍රමය බහුජාතික සමාගම්වල සූරාකෑමට ඉඩ සලසමින්, කාන්තාවන්ට අඩු මුදලට වැඩ කරන කුලී ශ‍්‍රමිකයන් වීමත්, මැද පෙරදිග රටවල වහලියන් බවට පත්වීමත් හැරෙන්නට අන් කිසිදු විකල්පයක් ඉතිරි නොකරන ආර්ථික පිළිිවෙතකි. එබැවින් කවර අයුරකින් හෝ මේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ වගකීම හුදෙක් ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙත පවරා නිදහස් වීමට ආණ්ඩුවට ඉඩ දිය යුතු නැත. මේ තත්වය තුල මේ අසාධාරණයට ගොදුරු වූ මිලියන 2.5 ක් වන මෙරට කාන්තාවන් තවදුරටත් තනිව මේ ගැටලූවට විසඳුම් සෙවිය යුතු නොවේ. තනිව සොයන විසඳුම් අපට සියදිවි නසා ගැනීම හැර අන් විකල්පයක් තවදුරටත් ඉතිරි නොකරයි. මේ දුෂ්ඨ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුල තුල තනිව සොයාගත හැකි වෙන විකල්පයක් නැත. නමුත් අප සමාජයක් ලෙස කල්පනා කරන්නේ නම් ලක්‍ෂ 25 ක ජනතාව මුහුණ දෙන මේ අසාධාරණය යනු මෙරට සමස්ථ කාන්තා පරපුර වෙත සිදුකරනු ලැබූ ක‍්‍රමික හා සංවිධානාත්මක අපරාධයකි. එබැවින් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් විපතට පත් ලක්‍ෂ 25 ක කාන්තාවන්ට මේ අපරාධයට එරෙහිව සාමූහිකව සටන් කරනු හැර අන් විකල්පයක් ඉතිරි නොවේ. එහි පළමු සටන් පාඨය විය යුත්තේ මේ අසාධාරණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු යන්නයි.

මෙයින් සමාගම් පාඩු ලබන්නේය යන්න තවදුරටත් පිළිගත හැකි තර්කයක් නොවේ. මෙරට කාන්තාවන් පත්ව සිටින අසරණ තත්වයන් ප‍්‍රයෝජනයට ගනිමින් ඔවුන් උපක‍්‍රමිකව මෙම උගුලට ඇද දමන ලද්දේත්, අසාධාරණ වැල් පොලී අයකරමින් ඔවුන්ව සියදිවි නසාගැනීමේ අසරණ අඩියට ඇද දමන ලද්දේත් ඔවුන් විසිනි. ඔවුන් දැනටමත් අසාධාරණ ලෙස අති මහත් ලාභයක් උපයා ඇත. ග‍්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට කිසිදු විධිමත් වැඩපිලිවෙලක් නැති ආණ්ඩු මේ අපරාධයේ අනෙක් පංගුකරුවන්ය. මෙම ව්‍යසනයට මඟ හෙලි කිරීම හා එය පවත්වාගෙන යාමට දිරිමත් කිරීමේ වරදින් ආණ්ඩුවට ගැලවීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.

මේ සියලූ අසාධාරණ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරන දීප ව්‍යාප්ත සාමූහික අරගලයක් සඳහා අසාධාරණයට ලක්වූ ලක්‍ෂ 25 ක කාන්තාවන් වෙත මේ සහෝදරාත්මක ඇරයුම සිදුකරන්නේ සාමූහිකව සිදුකරනු ලබන සටනකින් මිස මේ උගුලෙන් ගැලවිය හැකි අන් කවර හෝ මඟක් නොමැති බැවිනි. එමෙන්ම මේ අශීලාචාර, නීති විරෝධී කි‍්‍රයාවලියට නියමයෙන් හා අනියමින් සහාය වන ආයතන, රාජ්‍ය හා පුද්ගලික නිළධාරීන් ඇතුලූ මෙහි පංගුකරුවන් වන සියලූ දෙනාට එරෙහිව මේ බලත්හත්කාරයට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද අප විසින් බල කළ යුතුය. එබැවින් 25 ලක්‍ෂයක කාන්තාවන් සියදිවි නසා ගැනීම වෙනුවට මේ අපරාධකරුවන්ට එරෙහිව නැගී සිටින බව අප විසින් හඬගා කිව යුතුව ඇත. එය ඇරඹෙන්නේ එක් නිශ්චිත සටන් පාඨයකිනි.

‘කාන්තාවන්ට විපත් ගෙනදුන් සියලූ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු!’



ක්‍ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූවන්ගේ කාන්තා සංවිධානය - පොලොන්නරුව

මඩකලපුව දිස්ත‍්‍රික්ක කාන්තා එකතුව - මඩකලපුව

උතුරු පළාත් ජනතා සැලසුම් සංසදය - වව්නියාව

ඔබ ලබාගත් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අයකර ගැනීම සම්බන්ධයෙන් අදාල සමාගම්, ඒවායේ නියෝජිතයින්, රාජ්‍ය ආයතන හෝ වෙනත් කවර ආයතනයක් හෝ තැනැත්තෙක් වෙතින් ඔබට කිසියම් බලපෑමක් හෝ නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමේ තර්ජනයක් එල්ල වේ නම් පහත අංකය අමතන්න.



මඩකලපුව - තංගේෂ්වරි - 077-9005062, විනායගමූර්ති - 0775018309

පොළොන්නරුව - ප‍්‍රියංතිකා - 071-0323826, ජයතිස්ස - 0772888229

වව්නියාව - පවන්දේවි - 0763145605, දේවකි‍්‍රෂ්නන් - 0775141478