මාන්කුලම් නගර සංවර්ධනයට වන රක්ෂිත තුනකින් වනාන්තර අක්කර 7200 ක් වැනසීමට සූදානම් වෙයි

උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200 ක් (හෙක්ටයාර 2900 ක්) නිදහස් කිරීමට සැලැසුම් කර තිබේ. අක්කර 10,000 කින් (හෙක්ටයාර 4100 ක්) සමන්විත යෝජිත මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත සැලැසුමට අනුව මෙම දැවැන්ත වන විනාශය සිදු කිරීමට සූදානම් වේ.
පසුගිය රජයේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා විසින් මාන්කුලම් නගර සංවර්ධනයට අදාළ ව ඉදිරිපත් කළ අංක 08/1444/350/058 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2008 අගෝස්තු 29 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. එ් අනුව එවකට නාගරික සංවර්ධන හා ආගමික ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන පනතට අනුව 2009 සැප්තැම්බර් 22 වන දින අංක 1617/2 දරන ගැසට් නිවේදනය මඟින් නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් ලෙස මාන්කුලම් ප‍්‍රකාශයට පත් කර තිබේ. අක්කර 10,000 ක් නැතහොත් වර්ග කිලෝමීටර 41 කක භූමි ප‍්‍රදේශයක් තුළ 2015 වසරේ සිට 2060 වසර දක්වා අදියර හතරක් යටතේ මෙම මාන්කුලම් නගර සැලැසුම කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. ජනතාව පදිංචි කිරීම සඳහා හෙක්ටයාර 2320 ක්, කර්මාන්ත සඳහා හෙක්ටයාර 400 ක්, වාණිජ කටයුතු සඳහා හෙක්ටයාර 160 ක් හා කෘෂි කාර්මික කටයුතු සඳහා හෙක්ටයාර 240 ක් වශයෙන් මෙම භූමිය විවිධ භාවිතාවන් සඳහා ලබා ගැනීමට සැලැසුම් කර තිබේ.
2011 - 2030 ජාතික භෞතික සැලැස්මට (National Physical Plan) අනුව මාන්කුලම් නගරය විශේෂ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එ්කාබද්ධව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් ලංකාවේ සියලූ රාජ්‍ය ආයතන වල සහභාගීත්වයෙන් සකස් කර 2014 වසරේ දී ප‍්‍රකාශයට පත් කරන ලද උතුරු පළාත් ක‍්‍රමෝපායික පාරිසරික ඇගයීම් වාර්තාවට (Integrated Strategic Environmental Assessment of The Northern Province of Sri Lanka)අනුව මාන්කුලම් නගරය සඳහා විනාශ කිරීමට යෝජිත වනාන්තර ති‍්‍රත්වය ආරක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවටත් අලි ගැවසුම් ප‍්‍රදේශ හා අලි මංකඩවල් ලෙස ආරක්ෂා කළ යුතු බවටත් සඳහන් කර ඇත.
මෙම වනාන්තර ති‍්‍රත්වය වර්ග කිලෝමීටර් 986 ක ජලධාරා ප‍්‍රදේශයකට හිමිකම් කියන කනකරායන් ආරු ගංගාවේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර වෙයි. මේ වනාන්තර අලි - ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථාන වන අතර මෙම වනාන්තර එළි කිරීමෙන් අලි - මිනිස් ගැටුම වර්ධනය විය හැකිය. මේ වන වට උතුරු පළාතේ අලි - මිනිස් ගැටුම වර්ධනය වන කලාපයක් ලෙස හඳුනාගෙන ඇත. උතුරු හා නැගෙනහිර පළාත් වල යුද්ධය නිම වීමත් සමඟ ම රක්ෂිත වනාන්තර සීග‍්‍රයෙන් එළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ දී උතුරු වනජීවී කලාපයේ අලි - ඇතුන් 35 ක් පමණ අලි - මිනිස් ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස මිය ගොස් තිබේ. මෙම මහා වනාන්තර විනාශයත් සමඟ මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීම, වගා බිම් හා මිනිසුන් බලපෑමට ලක් වීම සිදු විය හැකි ය.
අද වන විට උතුරු පලාතේ උග‍්‍ර ජල හිඟයක් වර්ධනය වෙමින් පවතී. මෙම මහා වනාන්තර විනාශය සිදු වුවහොත් එ් තත්ත්වය ඉදිරි කාලය තුළ දී තවදුරටත් වර්ධනය විය හැකිය. මේ සියලූ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා මෙම වනාන්තර ති‍්‍රත්වය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍රපාල සිරිසේන මහතා පොදු ජනතාවට ඉදිරිපත් කළ ”මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැහැදිලිවම සඳහන් වන්නේ වනාන්තර හා වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැළැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැුක ගැනීම සඳහා තරාතිරම නොබලා සියලූ පාරිසරික නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවය. එපමණක් නොව අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීම හා එ්වායේ මායිම් සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන බව ද සඳහන් කර තිබේ. නමුත් අද වන විට කි‍්‍රයාත්මක යාන්ත‍්‍රණයේ දී රක්ෂිත සියල්ල ආරක්ෂා කිරීම වෙනුවට සීග‍්‍රයෙන් විනාශ කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. එ් අතරතුර ජනාධිපති තුමන් නැවත නැවතත් ප‍්‍රකාශ කරන අප රටේ වන ආවරණය 32% ක් දක්වා වර්ධනය කිරීමට මාන්කුලම් ප‍්‍රදේශයේ ආරක්ෂිත වනාන්තර අක්කර 7200 ක් නගර සංවර්ධනය සඳහා විනාශ කිරීමෙන් හැකි වේද යන්න ප‍්‍රශ්නාර්ථයකි.
එපමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම වන රක්ෂිත තුනට අයත් වනාන්තර මාන්කුලම් නගර සංවර්ධනය සඳහා නිදහස් කිරීමට එම දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති තුමන් කුමන තීරණයක් ගනු ලැබේ ද යන්න පිළිබඳ ව අප විමසිල්ලෙන් සිටිමු. සැබෑ ලෙස ම අප රටේ වන ආවරණය වැඩි කිරීමට උවමනාවක් ඇත්නම් ජනාධිපති තුමන් පළමුව කළ යුතු වන්නේ දැනට තිබෙන වන ආවරණය සුරක්ෂිත කිරීමය. එ් සඳහා රක්ෂිත වනාන්තර වල සුරක්ෂිත භාවය ඇති කළ යුතු ය. නමුත් එ් වෙනුවට දිගින් දිගටම සිදු වන්නේ විවිධ මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා වන ආවරණය සීග‍්‍රයෙන් විනාශ කිරීම ය.
පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජනතාවට ඉදිරිපත් කළ ”මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලිය” නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර සංවර්ධනය කොටසෙහි සඳහන් වන්නේ මෙරට සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීම හා එ්වායේ මායිම් වල සුරක්ෂිත බව තහවුරු කිරීමට කටයුතු කරන බව ය. නමුත් අද වන විට උත්සාහ දරන්නේ සුවිශේෂී වශයෙන් ආරක්ෂා කළ යුතු වනාන්තර නගර සංවර්ධනයට බිලි බිලි දීමට ය.
එපමණක් නොව මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ශී‍්‍ර ලංකාව සඳහා භූ විද්‍යා සැලැස්මක් වසරක් තුළ සම්පාදනය කරන බවත් එමගින් ජල පෝෂක ප‍්‍රදේශ, වනාන්තර ප‍්‍රමාණය ආදී වැදගත් දත්ත එ්කරාශී කර ගෙන එ් අනුව ජාතික පාරිසරික ප‍්‍රතිපත්තියක් සකස් කරන බවටත් ජනාවාස හා නගර නිර්මාණය කිරීමේ නිර්ණායක ඉහත භූ විද්‍යා සැලැස්මට අනුව තීරණය කරනු ලබන බවටත් සඳහන් කර ඇත. නමුත් මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ දරන්නේ මෙම කිසිදු සැලැසුමකින් හෝ අධ්‍යයනයකින් තොරව සුවිශේෂී වනාන්තර පද්ධතියක් විනාශ කරමින් වීම කනගාටුවට කරුණකි.
රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා වත්මන් රජය ජනතාව රැවටීමට පසුගිය රජය සිදු කළ වැරදි වලට පිළියම් යෙදීමට අවශ්‍ය කරුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල සඳහන් කළ ද බලය ලබා ගත් පසුව එ් සියල්ල පසෙකලා කටයුතු කිරීම කනගාටුවට කරුණකි. වත්මන් රජයෙන් ද සිදු කරනු ලබන්නේ බලය ලබා දුන් ජනතාව මුලා කිරීම හා රැවටීම පමණකි.
”මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැුක ගැනීම කොටසේ සඳහන් වන පරිදි යම් සංවර්ධන ව්‍යාපෘතියක සංකල්ප අදියරේ දීම පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලිය සිදු කළ යුතු ය. නමුත් මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතිය කිසිදු පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියකින් තොරව වන රක්ෂිත තුනකින් වනාන්තර අක්කර 7200 ක් ලබා ගෙන කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. නමුත් මෙම ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කළ හැකි ද යන්න සලකා බැලීමක් හෝ මේ වන විටත් සිදු කර නොමැත. එසේ තිබිය දී තිරසර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට රජය මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වමින් සිටීම පිළිබඳ ව කනගාටු විය යුතු ය.
අලි - මිනිස් ගැටුම වර්ධනය කරමින්, ජල අර්බුධ උග‍්‍ර කරමින්, දේශගුණික විපර්යාස ඇති කරමින්, කෘෂි කර්මාන්තය බිඳ දමමින් මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතිය යතාර්ථයක් තත්ත්වයට පත් කර ගත හැකි ද යන්න පළමුව සිතා බැලිය යුතු ය. මේ වන විට වැරදි සකල්ප ඔස්සේ ගොඩනැංවීම හේතුවෙන් බිඳ වැටුණු නගර සංවර්ධන ව්‍යාපෘති වලට බොහෝ පූර්වාදර්ශ පවත්ද් දී එම වැරදි උපායමාර්ග නැවත නැවතත් කි‍්‍රයාත්මක කිරීමෙන් සිදු වන්නේ රටේ ස්වාභාවික සම්පත් හා ආර්ථිකය වනසා දමමින් තව දුරටත් රටේ ජනතාව ණයකරුවන් බවට පත් කිරීම ය.
පසුගිය රජය පැවති සමයේ දී කිසිදු සැලැසුමකින් තොරව හම්බන්තොට මහ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට වනාන්තර අක්කර 15,000 ක් පමණ විනාශ කර වරාය, ගුවන්තොටුපල, ජාත්‍යන්තර කි‍්‍රඩා පිටිය, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, අධිවේගී මාර්ග ඇතුළු බොහෝ ඉදිකිරීම් කළ ද අද වන විට එ් සියල්ල රටේ ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කර ඇති අතර ම එ් සියල්ල පළ රහිත, මුදල් නිකරුනේ වැය කළ ආයෝජන බවට පත් වී ඇත. එම සංවර්ධනය හේතුවෙන් හිමි වී ඇත්තේ අලි - මිනිස් ගැටුම වර්ධනය වීම, ජල අර්බුධ උග‍්‍ර වීම හා කෘෂි කර්මාන්තය බිඳ වැටීම පමණි.
මේ නිසා අප අවබෝධ කර ගත යුතු ප‍්‍රධාන කරුණක් ඇත. එනම් බලහත්කාරයෙන් නගර ඇති කළ නොහැකි බව ය. ජන ජීවිතය හා සමාජ ආර්ථික තත්ත්වයන් මත පියවරෙන් පියවර නගරයක් ගොඩනැංවීම සිදු වනු ඇත. ප‍්‍රදේශයක ජනතාවගේ සමාජ, ආර්ථික තත්ත්වය ගොඩනැංවීමෙන් තොරව බලහත්කාරයෙන් නගරයක් නිර්මාණය කළ නොහැකිය. මේ යතාර්ථය නැවත නැවතත් තේරුම් ගත යුතුය.
රජය උත්සාහ කළ යුතු වන්නේ අප රටේ ස්වාභාවික සම්පත් මත පදනම් වූ කෘෂි ආර්ථිකයක් හා ධීවර ආර්ථිකයක් ගොඩ නැංවීමටය. එ් සඳහා සුළු පරිමාණ ගොවිතැන හා සුළු පරිමාණ ධීවර කර්මාන්තය මත පදනම් වූ ආර්ථික වැඩපිළිවෙලක් දියත් කළ යුතය. ඊට සමගාමීව කර්මාන්ත සැලැසුම් දියත් කළ යුතුය. එවිට ගොඩනැංවෙන ආර්ථිකය මත නගර නිර්මාණය වනු ඇත. එම නගර තිරසර නගර බවට පත් කිරීමට රජය මැදිහත් විය යුතු ය. එසේ නොමැතිව බලහත්කාරයෙන් අලූතින් සකස් කරන නගර වලට සිදු වන්නේ හම්බන්තොටට සිදු වූ විනාශයමය. නැවත නැවතත් එවන් වැරදි සිදු නොකරන ලෙසට අප රජයට අවධාරණය කර සිටිමු.
මාන්කුලම් ප‍්‍රදේශයේ තිරසර සංවර්ධනයක් ඇති කිරීමට නම් එ් සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු අතර එ් මත පදනම්ව පරිසර බලපෑම් ඇගයීමක් සිදු කළ යුතුය. ඉන් බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධන මාවත හඳුනා ගැනීමය. එය යතාර්ථවාදී නම් සැබෑ සංවර්ධන මාවත එම අධ්‍යයනය පදනම් කර ගෙන ගොඩනැගිය හැකි වනු ඇත. එ් සඳහා මඟ පෙන්වීමට ලංකාවේ පවතින නීති රීති රැුසක් පවතී.
ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනතට අනුව සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පාරිසරික හා පුරා විද්‍යා අනුමැතීන් ලබා ගත යුතු ය. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට ප‍්‍රථම යොමු වී නොමැත.
1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය ස`දහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව වන රක්ෂිත තුනකට අයත් ඉඩම් නිදහස් කර ගෙන මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ.
මෙම නීතිමය ආවරණයට යටත් වන එළැඹුමකින් තොරව පළමුව වන රක්ෂිත තුනකින් වනාන්තර අක්කර 7200 ක් ලබා ගෙන මහ පරිමාණ වන විනාශයක් සිදු කරමින් තිරසර සංවර්ධනයක් ගොඩනැංවිය නොහැකිය. මෙම වනාන්තර ති‍්‍රත්වය වන සංරක්ෂණ ආඥ පනත යටතේ දීර්ඝ කාලයක සිට ආරක්ෂා කර ඇති ආකාරය ද අවබෝධ කර ගත යුතු ය. 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුන පිළිවෙලින් 1969, 1921 හා 2012 වසර වල දී ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වෙයි. එවන් වරදක් ස`දහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඩ මුදලකට ද යටත් කළ හැකි ය.
මෙවන් ශක්තිමත් නීති පද්ධතියක් යටතේ පාලනය වන වනාන්තර අක්කර 7200 ක් මාන්කුලම් නගරය ඉදි කිරීම සඳහා ලබා දීමෙන් සිදු වන්නේ දැවැන්ත විනාශයකි.
මේ නිසා අප අවධාරණය කරන්නේ රක්ෂිත වනාන්තර විනාශ කරමින් සිදු කිරීමට යෝජිත මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතිය වහාම නතර කර තිරසර නගර සංවර්ධන සැලැසුමක් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන ලෙස ය. එ් සඳහා ප‍්‍රදේශයේ ස්වාභාවික සම්පත් හා මානව සම්පත මත පදනම් වූ සංවර්ධන කි‍්‍රයාවලියක් සඳහා මූලික සක්‍යතා අධ්‍යයනයක් සිදු කර එ් මත පදනම්ව නගර සැලැසුම් සකස් කළ යුතු ය. එපමණක් නොව සංවර්ධන උපායමාර්ග හා සංරක්ෂණ උපායමාර්ග සඳහා සකස් කරන සැලැසුම් එකිනෙකට ව්‍යුක්තව නොව එ්කාබද්ධව කි‍්‍රයාත්මක කරන යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු ය. නැතහොත් සිදු වන්නේ භෞතික සංවර්ධන සැලැසුම් වලට වැඩි ප‍්‍රමුඛතාවය ලබා දීමෙන් එම සැලැසුම් සංවර්ධන අදියරේ දීම බිඳ වැටීමට ලක් වීම ය. මේ නිසා භෞතික සංවර්ධනය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සමාන්තර මාවතකට ගෙන එන ප‍්‍රවේශයක් ඇති කළ යුතු ව ඇත. එමගින් පමණක් තිරසර සංවර්ධනයක් ඇති කළ හැකි ය.