මලපොලගම - කූරත්ත වනාන්තරය මහ පරිමාණයෙන් එළි කිරීමෙන් හාල් ඔය අනතුරේ

සජීව චාමිකර

නුවරඑළිය හා බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක තුළ ව්‍යාප්තව ඇති මලපොලගම හා කූරත්ත වනාන්තර සීග‍්‍රයෙන් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීමෙන් උමා ඔයේ ප‍්‍රධාන ජල පෝෂක අතු ගංගාවක් වන හාල් ඔය උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් තිබේ. එපමණක් නොව අඩි 5000 කට වඩා ඉහළ කදුකරයේ දළ බෑවුම් සහිත ප‍්‍රදේශ වල ව්‍යාප්තව ඇති හාල් ඔයේ මෙම ජලපෝෂක වනාන්තර එළිපෙහෙළි කර අර්තාපල් හා එළවළු වගා කිරීමෙන් පාංශු ඛාදනය උග‍්‍ර වීම හා භූමිය අස්ථාවර වීමෙන් නාය යෑමේ අවධානමක් මතුවෙමින් පවතී.
ඌව පලාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ හා නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ මැදිහත්වීම හා මඟ පෙන්වීම යටතේ වනාන්තර ඉඩම් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම හා වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
මලපොලගම හා කූරත්ත වනාන්තර, කඳපොල - සීතාඑළිය සංරක්ෂිත වනාන්තරය හා සම්බන්ධව පවතී. කූරත්ත වනාන්තරයෙන් ආරම්භ වන කඳපොල - සීතාඑළිය වනාන්තරය හක්ගල වනාන්තරය දක්වා විහිදී යයි. ඉතා ඈත ඉතිහාසයේ දී පළමු වරට කඳපොල - සීතාඑළිය වනාන්තරයේ හෙක්ටයාර 2721.2 ක් වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එ් 1892 මැයි 20 වන දින අංක 5140 දරන ගැසට් නිවේදනයෙනි. තවත් වනාන්තර හෙක්ටයාර 109.6 ක් කඳපොල - සීතාඑළිය යෝජිත රක්ෂිතය ලෙස මෙම වන රක්ෂිතය හා සම්බන්ධව පැවතුනි.
ඉන් පසුව 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥ පනතේ 3අ වගන්තිය යටතේ කඳපොල - සීතාඑළිය වන රක්ෂිතයට හා යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර සියල්ල සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එ් 2008 ජූලි 22 වන දින අංක 1559/12 දරන ගැසට් නිවේදනය මඟිනි. එම සංරක්ෂිත වනාන්තරයට මායිම්ව වන සංරක්ෂණ ආඥ පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන අවශේෂ වනාන්තර ලෙස මලපොලගම හා කූරත්ත වනාන්තර පිහිටා තිබේ.
අද වන විට මෙම වනාන්තර ඉඩම් වල අනවසර වගා කටයුතු සිදු කරන පුද්ගලයින් 250 ක් පමණ සිටී. ඔවුන්ගෙන් වැඩි පිරිසක් උඩුහාවර, වෙලමැදගම, පේරවැල්ල හා කොරදේකුඹුර යන ප‍්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන්ය. මීට අමතරව නුවරඑළිය නගරයේ පදිංචි මහ පරිමාණ වගාකරුවන් බොහොමයක්ම මෙම ප‍්‍රදේශයේ වනාන්තර එළිපෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීම සිදු කරති. මේ වන විට මලපොලගම වනාන්තරයේ අක්කර 250 ක් පමණ හා කූරත්ත වනාන්තරයේ අක්කර 80 ක් පමණ එළිපෙහෙළි කර නීති විරෝධීව වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මේ ප‍්‍රදේශයේ ඉඩම් නොමැති පවුල් 50 ක් පමණ සිටින බව මේ වන විට හදුනාගෙන තිබුණත් වැඩි පිරිසක් මහ පරිමාණ වගාකරුවන් බවට තහවුරු වී ඇත.
මෙම සියලූ වනාන්තර එළිපෙහෙළි කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය. එම නිසා මලපොලගම හා කූරත්ත වනාන්තර එළිපෙහෙළි කර නීති විරෝධීව වගා කටයුතු සිදු කරන පුද්ගලයින් පමණක් නොව එ් සඳහා ආධාර හා අනුබල ලබා දෙන අමාත්‍යවරුන් ද වරදකරුවන් වෙති. නමුත් මේ නීති විරෝධී කි‍්‍රයා වල නිරත වන කිසිවකුට එරෙහිව නීතිමය කටයුතු සිදු කෙරෙන ස්වභාවයක් පෙනෙන්නට නැත.
1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තිය අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව සංරක්ෂිත වනාන්තරයක මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත ප‍්‍රදේශයේ යම් සංවර්ධන කි‍්‍රයාකාරකමක් සිදු කිරීමට ප‍්‍රථමයෙන් හෝ හෙක්ටයාර එකකට වැඩි කැලෑ, කැලෑ ආශි‍්‍රත නොවන ප‍්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් කඳපොල - සීතාඑළිය සංරක්ෂිත වනාන්තරය මයිමේ මහා පරිමාණයෙන් රජයේ වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කර ඇත්තේ මේ නීති නොතකමිනි. එ් සඳහා වගකිවයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතන මේ පිළිබඳව සොයා බැලීමක් නොකිරීම කණගාටුවට කරුණකි.
සංශෝධිත 1951 අංක 25 දරන පාංශු සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව මෙම කදුකර ප‍්‍රදේශය 2008 මැයි 22 වන දින අංක 1550රැු9 දරන ගැසට් නිවේදනය මඟින් පාංශු සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ ප‍්‍රදේශවල මානව ක‍්‍රියාකාරකම් සීමා කර ඇති අතර ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව පාංශු සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ ඕනෑ ම ආකාරයක සංවර්ධන ක‍්‍රියාකාරකමක් සිදු කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නෛතික ප‍්‍රතිපාදනයන් භාවිත කර මෙම කඳුකරයේ සිදු වන සියලූ ම හානිකර සංවර්ධන ක‍්‍රියාකාරකම් පාලනය කිරීමේ ගැනීමේ හැකියාව ඇති නමුත් මේ නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් මෙම වගා බිම් ව්‍යාප්ත කිරීම මහ පරිමාණයෙන් සිදු කෙරේ. එහි හානිකර ප‍්‍රතිඵල භුක්ති විදීමට සිදු වී ඇත්තේ මෙම වනාන්තර ප‍්‍රදේශ වලින් පෝෂණය වන හාල් ඔයේ පහළ ප‍්‍රදේශ වල කෘෂිකර්මාන්තයේ නිරත ජනතාවටය.
මලපොලගම හා කූරත්ත වනාන්තර වලින් පෝෂණය වන ජල මූලාශ‍්‍ර ආශ‍්‍රිතව අමුණු 21 ක් හා සුළු වාරිමාර්ග 34 ක් පමණ ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් කි‍්‍රයාත්මක වේ. ඉන් ගොවි පවුල් 12,000 ක් පමණ වගා කටයුතු වල නිරත වේ. මීට අමතරව හාල් ඔයේ ජලයෙන් පෝෂණය වන කොරදිකුඹුර, උඩුනාවර, හගුන්නාව, රන්හවඩිගම, ඉඩමේගම, පරණගම, මූදනාව, උණාපාන, ලූණුවත්ත, වෙලමැදගම, පිටවෙලගම, පල්ලේවැල්ල, කොඩකුඹුර, සපුගොල්ල, මානවෙල, උඩපේරුව, ඉලූක්වෙල, රත්දල යන ප‍්‍රදේශවල සම්පූර්ණ වගා බිම් පෝෂණය කරනුයේ හාල් ඔයේ ජලයෙනි. මෙහි ජලපෝෂක වනාන්තර විනාශ කිරීමෙන් මේ සියලූ වගා බිම් කෙටි කාලයක් තුළ විනාශයට ලක් වනු ඇත.
වඳකහමණ්ඩිය කදුර, කහඹිලියාගලබඩ කදුර, ඉද්දමැදි කදුර, දඹලවැල් කැටිය කදුර හා කිතුල්ගස් කදුර ලෙස ආරම්භ වී රවන් ඇල්ල නිර්මාණය කරමින් පහළට ගලා ගොස් රහුපොල ප‍්‍රදේශයෙන් උමා ඔය හා එක් වන හාල් ඔයේ ජලය උමා ඔයට ප‍්‍රධාන ජල සම්පතක් වන්නේ උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර දකුණු ප‍්‍රදේශයට ජලය හරවා යැවීමෙන් පසුව උමා ඔයේ පහළට ලැබෙන ජලය හිඟ වීම පාලනය කිරීමේ හැකියාව හාල් ඔයට ඇති නිසා ය. එම ජලය උමා ඔයට එන් වන ස්ථානයට කිලෝමීටර් 10 ක් පමණ පහළින් තල්පිටිය නමින් ජලාශයක් ඉදි කර උමා ඔයේ පහළ බත්මැඩිල්ල ව්‍යාපාරයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීමට මේ වන විට යෝජනා වී ඇති අතර එ් සඳහා මුදල් වෙන් කර එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. එසේ තිබිය දී හාල් ඔයේ ජල පෝෂක වනාන්තර සීග‍්‍රයෙන් එළිපෙහෙළි කිරීමෙන් උමා ඔයේ පහළ වාරි ව්‍යාපෘති සියල්ලම බිද වැටීමට ලක් වනු ඇත.
මෙම වනාන්තර පද්ධතිය ජල පෝෂකයක් ලෙස පවතින වටිනාකමට නොදෙවෙනි ජෛව විද්‍යාත්මක වටිනාකමක් ද පවතී. ඉහළ කදුකර තෙත් වනාන්තර වැස්මක් සහිත මෙම ප‍්‍රදේශයේ වෙරළු හා ජම්බු ශාක කුල වලට අයත් ආවේණික විශේෂ ප‍්‍රමුඛව දැක ගත හැකි ය. මීට අමතරව ලංකාවට ආවේණික මධ්‍ය කදුකරයේ පමණක් වාර්තා වන රයිනෝ අඟ කටුස්සා (Ceratophara stoddartii) මෙම වනාන්තරයෙහි ජීවත් වේ. ලංකාවට ආවේණික ඉහළ කදුකර වනාන්තර වල පමණක් වාර්තා වන දුර්ලභ පක්ෂි විශේෂ වන කදුකර හම්බු කුරුල්ලා (Ceylon Warbler), කහ කන් කොණ්ඩයා (Yellow – eared Bulbul), කදුකර මල් කුරුල්ලා (Hill White eye) , අදුරු නිල් මැසිමාරා (Dusky blue Flycatcher), පෙතිගෝමර වල්අවිච්චියා (Scaly Thrush) වැනි පක්ෂි විශේෂ ද මේ වනාන්තරයේ දැක ගත හැකි ය. මීට අමතරව ලංකාවට ආවේණික ඉතාම දුර්ලභ සමනළ විශේෂයක් වන Ceylon Tiger වැනි විශේෂ ද මෙම වනාන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වේ. වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා සිදු කරන වනාන්තර විනාශය හේතුවෙන් හා මෙම වගාබිම් වලට යොදන අධික කෘෂි රසායනික හේතුවෙන් මෙම සංවේදී පරිසර පද්ධති වල ජීවත්වන ජීවීන්ගේ පැවැත්මට ඉතාම හානිකර ලෙස බලපෑම් එල්ල වී ඇත.
මෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති තුමන් ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැුකගැනීම කොටසෙහි ප‍්‍රධාන වශයෙන්ම සඳහන් කර ඇත්තේ වනාන්තර විනාශය වැළැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැුක ගැනීම සඳහා තරාතිරම නොබලා පාරිසරික නීති කි‍්‍රයාත්මක කරන බවය. එපමණක් නොව පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශ වීමේ තර්ජනයට මුහුණපා ඇති කලාප තවදුරටත් හදුනාගෙන එ්වා ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
පසුගිය මැතිවරණයේ දී වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරිපත් කළ මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලිය ඇතුළත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ජල සම්පත ආරක්ෂා කිරීම සඳහා ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත. නමුත් වත්මන් යහපාලන රජයේ ඇමැතිවරු විසින් ම පංචවිධ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හා එහි නියමුවන් නිහඬව සිටීම කණගාටුවට කරුණකි.
මේ නිසා මලපොලගම හා කූරත්ත වනාන්තර ප‍්‍රදේශ එළිකිරීම නතර කිරීමට කඩිනමින් කි‍්‍රයාමාර්ග ගත යුතු අතර දැනට නීති විරෝධීව එළිපෙහෙළි කර වගා බිම් ස්ථාපිත කර ඇති ප‍්‍රදේශ නැවත අත්පත් කර ගෙන වන වගාවන් ස්ථාපිත කළ යුතුව ඇත. එපමණක් නොව එම සමස්ථ වනාන්තර ප‍්‍රදේශය කඳපොල - සීතාඑළිය සංරක්ෂිත වනාන්තරයට එ්කාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත. එසේ නොවුනහොත් මෙම වනාන්තර විනාශ කිරීමට ලැබෙන දේශපාලන රැුකවරණය හේතුවෙන් ඉතාම කෙටි කලකින් මෙම වනාන්තර පද්ධතියම සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර වගා බිම් බවට පත් කරනු ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස හාල් ඔයේ ජල සුරක්ෂිතතාව හා එ් හා බැදුණු කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිද වැටෙන අතර දළ බෑවුම් ප‍්‍රදේශ වල ව්‍යාප්ත කරන වගා බිම් කෙටි කලකින්ම නායේ යෑමට ලක් වනු ඇත.
විශේෂ ස්තූතිය - ප‍්‍රභාත් කුමාර මහතා, අනාගතේ අපේ අතේ සංවිධානය, රංජිත් කොණ්ඩදෙනිය මහතා, ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, එ්. එම්. අත්තනායක මහතා, ජෛව විවිධත්ව මධ්‍යස්ථානය හා ගුණතිලක මහතා, ජාතික ගොවි සමුළුව.