ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවට ප්‍රති-ත්‍රස්තවාදය: යලි මුවහත් කෙරෙන රාජ්‍යයේ නිය පහුරු

විමුක්ති ව්‍යාපාරය





ප්‍රතිත්‍රස්තවාදය පනත (CTA) අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අනීතික ලෙස සැලකීමේ ඉතිහාසය තුල ඉතාමත් දරුණු නීතියක් ලෙස ස්ථානගත වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ආදේශනය කිරීම වෙනුවෙනි. අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විරෝධයක් පැන නොනැගෙන්නේ නම් හෝ ඉදිරි සතිය ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවන්නේ නම් යෝජිත මෙම පනත රටේ නීති පද්ධතියේ ස්ථිර කොටසක් බවට පත්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් හකුලුවමින් සැකකරුවන් සෝදිසි කිරීමට, අත්අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට හා ඔත්තු බැලීමට පොලිසියට හා මිලිටරියට අතිවිශාල බලතල ලබා දෙන මෙවැනි වූ පනතක් සම්බන්ධයෙන් සිවිල් සමාජයේ නිහඩබව අපගේ කන් බිහිරිකරවන තරම්ය.

විශාරද පණ්ඩිතයන් පවසා සිටින්නේ නව පනත පවත්නා ආකාරයෙන් නීතිගත වන්නේ නම් පවත්නා නීතියට වඩා බෙහෙවින්ම දියුණු නීතියක් වනු ඇති බවයි. ඇත්ත වශයෙන්ම බැලූ බැල්මට පෙනෙන්නේ මානව අයිතිවාසිකම් භාෂාව භාවිතයෙන් නව පනත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රශ්නකාරී අංග ලෙස පැවති පාපෙච්චාරණ පිලිගැනීම හා රැදවුම් නියෝගවලට එරෙහි අභියාචනා අයිතිය සීමා කිරීම වැනි කොටස් මෘදු කර නැතහොත් වෙනස් කර ඇති බවයි. මේ සියල්ල සලකා බැලීමේදී වුවද නව පනතේ ඇති සාධනීය අංග වන්නේ මහේස්ත්‍රාත්වරයෙක් නොවන බලධරයෙකු ඉදිරිපිට කරන ලද පාපොච්චාරණයන් පිලි නොගැනීම, මානව හිමිකම් කොමිසම් සභාවට රැදවියන්ට ප්‍රවේශය ලබා දීම හා මහේස්ත්‍රාත්වරයෙක් විසින් රැදවීම පිලිබද ලබාදෙන අතුරු නියෝගයකට අභියාචනා කිරීමේ හැකියාව ඇතුලත් කිරීම පමණි.

නව ත්‍රස්ත නීතිය යටතේ අපරාධ

නව ත්‍රස්ත පනතේ යටතේ දක්වා ඇති අපරාධ පුලුල් හා අපැහැදිලි වන අතර එම අපරාධ ප්‍රමාණවත් පරිදි නිර්වචනය කර නොමැත. උදාහරණයක් ලෙස අත්‍යවශ්‍ය සේවා සැපයීමට බාධා කිරීම හෝ හානි කිරීම නැතිනම් අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාල යටිතල හෝ ප්‍රවාහන පහසුකම්වලට බාධා කිරීම හෝ හානි කිරීම නව ත්‍රස්ත නීතිය යටතේ අපරාධයකි.

ප්‍රායෝගික තලයේදී මෙහි අර්ථය කුමක්ද? ඕනෑම පොදු සේවාවක් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නිර්වචනය කිරීමේ බලය ජනාධිපති සතුවේ. ඒ අනුව ජනාධිපති විසින් ප්‍රවාහන සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කලහොත් එයට එරෙහිව උද්ඝෝෂණය කරනා ජනතාව අත්‍යාවශ්‍ය සේවාවනට බාධා කරමින් ත්‍රස්ත ක්‍රියාවන් සිදු කරන බවට නව ත්‍රස්ත පනත යටතේ තීන්දු කල හැකි වේ. මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කරමින් සද්භාවයෙන් යුතුව කරනා කිසිදු ක්‍රියාවක් පනත යටතේ නොසැලකෙන බව නව පනත පවසා සිටියද ව්‍යවස්ථාව අනුවම රාජ්‍යයට ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, මහජන සාමය, මහජන සෞඛ්‍යය හා මහජන සදාචාරය ආරක්ෂා කිරීම සදහා මූලික අයිතිවාසිකම් සීමා කල හැකිය. මීට අමතරව ව්‍යවස්ථාවට මහජන ආරක්ෂාව සදහා වන නීති හා රෙගුලාසි මගින් මූලික අයිතිවාසිකම් සීමා කල හැකිය. ඒ අනුව මානව අයිතිවාසිකම් පිලිබදව නව ත්‍රස්ත පනතේ ඇති වගන්ති ප්‍රායෝගික තලයේදී සැකකරුවනට කිසිදු ආරක්ෂාවක් ලබා දෙන්නේ නැත. ඕනෑම ත්‍රස්ත නීතියක මානව අයිතිවාසිකම් භාෂාව භාවිතා කරන්නේ එහි ඇති දැඩි බව සැගවීමට පමණක් වන අතර නව ත්‍රස්ත පනත එහිදී ව්‍යතිරේකයක් නොවන්නේය.

නව ත්‍රස්ත පනත යටතේ විමර්ශනය

යොජිත නව පනත යටතේ සැකකරුවෙකු අපරාධයක් සිදු කර ඇති බවට හෝ කරනු ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතින්නේ නම් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට රැදවුම් නියෝග ලබා දිය හැකිය. ඕනෑම පොලිස් නිලධාරියෙකුට හෝ සන්නද්ධ හමුදාවලට හෝ වෙරල ආරක්ෂක නිලධාරියෙකුට ත්‍රස්ත ක්‍රියාවනට යොදා ගැනෙන්නේ යැයි යන සැකයක් මත පමණක් පදනම්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට, දේපලවලට ඇතුලත් වීමට හා සෝදිසියට හා දේපල රාජ්‍ය සන්තක කිරීමට නව පනත යටතේ බලය ඇත.

බලය අපයෝජනය වැලැක්වීම සදහා පැවැතිය යුතු ආරක්ෂණයන් නව පනත යටතේ අනිවාර්ය කර නොමැත. ඒ අනුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පුද්ගලයෙකුට එම අත්අඩංගුවට ගැනීමට හේතුව නොදැක්වීම හෝ සැකකරුට තේරෙන භාෂාවකින් එය පහදා නොදීම නව පනත යටතේ නීති විරෝධී නොවේ. එමෙන්ම පිරිමි පොලිස් නිලධාරියෙක් ස්ත්‍රී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමද යෝජිත නව නීතිය යටතේ නීති විරෝධී නොවේ.

නව ත්‍රස්ත පනත භූමියේ යථාර්තයන් සලකා බලමින් සකසන ලද්දක් බවට පෙනෙන්නේද නැත. යෝජිත පනතට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් මත තුවාල පවතීද යන්න පරීක්ෂා කර අධිකරණ වෛද්‍ය නිළධාරියාට යොමු කිරීමට පොලිස් ස්ථානයේ ස්ථාන බාර නිළධාරියාට බලය ලබා දී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් නැවත තුවාල පවතීද යන්න පරීක්ෂා කිරීම හා තීරණය කිරීමේ බලය එලෙස වධ හිංසනය පමුණුවන අයටම යෝජිත නව පනතින් පවරා ඇත. එමෙන්ම රැදවුම් නියෝග ප්‍රශ්න කිරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති අතර එම නියෝග බලාත්මක කිරීම පමණක් මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කල හැකි වේ. අත්අඩංගුවට ගැනීමක් අනවශ්‍ය බවට හැගෙන අවස්ථාවකදී පවා අත්අඩංගුවට ගැනීම් ස්වාධීනව තක්සේරු කර පුද්ගලයෙක් නිදහස් කිරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැත. පුද්ගලයෙක් වධ හිංසනයට ලක් ව ඇති බව නිරීක්ෂණය වුවද මහේස්ත්‍රාත් අධිකරණයට එම පුද්ගලයා නිදහස් කිරීමේ බලයක් නොමැති අතර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවතත් රිමාන්ඩ් බන්ධනාගාරයට එම පුද්ගලයා යැවිය යුතු වේ. කෙසේ වෙතත් වධ හිංසනය පනවන ලද නිලධාරියාට අදාල පුද්ගලයට ඍජු ප්‍රවේශය ලබා දීම වැලැක්වීමට අධිකරණයට බලය ඇත. එසේ වුවද වධ හිංසනය එක් නිලධාරියෙකුට සීමා නොවන බවත් එය ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරනා ආයතන තුල පැතිරී පවතින වසංගතයක් බවත් විමර්ශන කටයුතු වලදී පුරුද්දක් ලෙස යොදා ගන්නා බවත් අපි සියලු දෙනා දන්නා කරුණකි. ඒ අනුව එක් නිලධාරියෙක්ට ප්‍රවේශය අහිමි කිරීමෙන් සැකකරුවෙකුට හෝ සැකකාරියකට කිසිදු ආරක්ෂාවක් ලැබෙන්නේ නැත.

ත්‍රස්ත නීතියේ දෘෂ්ටිවාදය

වඩාත්ම වැදගත් කරුණ වන්නේ ඕනෑම ආකාරයක ත්‍රස්ත නීතියක් මගින් පුරවැසියන් අතර අනවබෝධය හා සැකය වර්ධනය කිරීමට රාජ්‍යය අවසර ලබා ගැනීමයි. යෝජිත නව ත්‍රස්ත පනතට අනුව ත්‍රස්ත ක්‍රියාවක් සිදු කරන ලදැයි සැක කරන පුද්ලයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීම පවා අපරාධයක් වන්නේය. පුද්ගලයෙක් සැකයට භාජනය වූ විගස (නව පනත අනුව මෙය ඕනෑම පොලිස් නිලධාරියෙක්ට සිදු කල හැක්කකි) ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකයට පත් පුද්ගලයා සමග අතේ දුර සම්බන්ධතාවයක් පවත්වා ගත යුතු බවටත් සැකකටයුතු ක්‍රියාවන් ගැන බලධාරීන් දැනුවත් කල යුතු බවටත් නව පනත පවසා සිටී. එසේ නොකරන පුරවැසියන් සදහා දඩුවම්ද මේ පනත මගින් පනවා ඇත.

ඒ අනුව ත්‍රස්ත නීතීන් මගින් අවිනිශ්චිතබවේ වටපිටාවක් හා ස්ථිර ත්‍රස්තයක් නිර්මාරණය කරයි. ඒ මගින් ජනාධිපතිට ඇදරි නීතිය පැනවීමට, මහජන ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා කැදවීමට හා පොලිසියට මෙම පනත මගින් ලබා දී ඇති බලයන් සන්නද්ධ හමුදාවන්ට මාරු කිරීමට පවා බලය ලබා දේ. මෙම පනත යටතේ ඇමතිවරයාට ඕනෑම ස්ථානයකට ඇති මහජන ප්‍රවේශය කිසිදු හේතුවක් නොමැතිව තහනම් කිරීමට හැකිය. ඒකරාශී වීම් හා සංසරණය වලක්වමින් හා නිශ්චිත ක්‍රියාවන් තහනම් කරමින් පොලිසියට නියෝගයන් පැනවිය හැකි අතර ඒවා උල්ලංඝණය කරන්නන්ට වසර දෙකක් දක්වා සිර දඩුවම් හා දඩ පැනවිය හැකිය.

නව ත්‍රස්ත නීතිය මගින් විධායකය (එය ජනාධිපති, ඇමතිවරයා, පොලිසිය නැතිනම් සන්නද්ධ හමුදා විය හැකිය) ශක්තිමත් කරමින් ත්‍රස්ත විරෝධය නාමයෙන් පුරවැසියන් මත රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැරීමට බලය ලබා දේ. මෙය නීතිය බවට පත් වුවහොත් දැනටමත් පැතිරී ඇති වධ හිංසන, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, ඔත්තු බැලීම් තවදුරටත් වර්ධනය වීම් නොවැලක්විය හැකි වනු ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම සදහා අත්‍යාවශය පුරවැසි අවකාශයන් තවදුරටත් හැකිලෙනු ඇත.

ත්‍රස්ත නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හා එය නීතිගත කිරීමට උත්සහ කිරීම මගින්ම අප වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ව්‍යවස්ථාදායක බලයන් අපයෝජනය කිරීමක් වන්නේය. සෑම ත්‍රස්ත නීතියක්ම එහි නාමයෙන්ම පුරවැසියන්ට එරෙහිව ක්‍රියාත්මක වන අතර එහි කිසිදු ප්‍රගතිශීලි අඩංගුවක් පැවතිය නොහැක. ත්‍රස්ත විරෝධී පනත මගින් මහජනතාව මත මුදා හරින ලද ත්‍රස්තය අප ඉතිහාසය තුල අත්විද ඇත්තෙමු. නව ත්‍රස්ත පනත මගින්ද නොඅනුමානව එය සිදු කරනු ඇත. ප්‍රචණ්ඩ ගැටුම් අවසන්ව දශකයට ආසන්න කාලයක් ගතව ඇති මොහොතක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම හා නව ත්‍රස්ත නීති හකුලා ගැනීමට මෙපිටින් කිසිදු දෙයක් ශ්‍රී ලංකා ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා පිලිගත හැකි ක්‍රියාවන් නොවන්නේය.

විමුක්ති ව්‍යාපාරය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙසට දැඩිව ඉල්ලා සිටින අතර නව ත්‍රස්ත පනත් හදුන්වා දීමට රජය දරන උත්සහය හෙලා දකී!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර එවැනිම දරුණු නීතියක් ගෙන ඒමට රජය දරණ ප්‍රයත්නය විමුක්ති ව්‍යාපාරය හෙලා දකී. නව ත්‍රස්ත පනත මගින් ඕනෑම පුරවැසියෙකු පොලිසියේ හෝ සන්නද්ධ හමුදාවේ නිලධාරියෙක්ගේ තීරණය මත ත්‍රස්තවාදියෙකු බවට පත් කල හැකි බවත්, ඕනෑම සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් කල හැකි බවත් ඇමතිවරයෙකුගේ තීරණය මත පමණක් ලිවීම, උද්ඝෝෂණය කිරීම, පොදු අවකාශවලට ප්‍රවේශ වීම හා මිතුරු සම්බන්ධතා ඇති කර ගැනීම හා සහෘද පුරවැසියන් විශ්වාස කිරීම ත්‍රස්ත ක්‍රියාවන් ලෙස නම් කිරීමේ රාජ්‍ය ත්‍රස්තයක් මෙම පනත මගින් අප වෙත මුදා හැරීමට නියමිතය.

මානව හිමිකම් භාෂාවෙන් සරසා ගෙන ආ පමණින් අපගේ සමාජයට ස්ථිර ත්‍රස්ත නීතියක කිසිදු අවශ්‍යතාවයක් නොමැත යන සත්‍යය වසන් කල නොහැක. ලංකාවේ නීතිය තුල දැනටමත් හදිසි අවස්ථා සදහා ජනාධිපතිවරයා වෙත විශාල බලතල පවරා ඇති හදිසි නීතිය පවතින්නේය. ස්ථිර ත්‍රස්ත නීති මෙන් නොව හදිසි නීතිය මාසිකව පාර්ලිමේන්තුව මගින් අනුමත කල යුතු අතර ඒ මගින් ජනාධිපතාවරයාගේ බලය මත යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී සීමාවක් පනවා ඇත්තේය. ත්‍රස්ත පනත මගින් සිදු කරන්නේ එම ආරක්ෂාවන් ඉවත් කර අපව රාජ්‍යය ත්‍රස්තවාදයට නිරාවරණය කිරීමයි.

මෙරට පුරවැසියන් ලෙස අපි නව ත්‍රස්ත නීති මගින් පැනවීමට උත්සහ කරන ස්ථිර ත්‍රස්තයක් යටතේ ජීවත් වීම ප්‍රතික්ෂේප කරනා අතර විධායකය මගින් තීරණය කල පමණින් ත්‍රස්තාවාදීන් ලෙස නාමකරණය වීම ප්‍රතික්ෂේප කර සිටිමු.

මෙම නීතිය ගෙන එමින් රජය හා පාර්ලිමේන්තුව අපගේ ස්වාධිපති බලය හා අපට නිදහස් පුරවැසියන් ලෙස ජීවත් වීමට ඇති අයිතිය අපයෝජනය කිරීම වහාම නවත්වන ලෙස අපි බල කර සිටිමු. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත කොන්දේසි විරහිතව අහෝසි කරන ලෙසත් නව ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙන් වහාම ඉවත් කර ගන්නා ලෙසත් අපි අවධාරණය කර සිටිමු.