ලෝක බැංකු නිර්දේශ මත ජනතාව අවතැන් කරන ඉඩම් පනත් සංශෝධන වහා ම නතර කළ යුතු ය

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය





මානව කේන්ද්‍රීයව ඉඩම්වල අයිතිය හා ඉඩම්වල අවශ්‍යතාව හඳුනා ගැනීමේ දී ප‍්‍රධාන වශයෙන් වැදගත් වන්නේ ජීවත්වීම හා ආහාර නිෂ්පාදනය සඳහා නෛතිකව හිමි භූමි ප‍්‍රදේශයක හිමිකම හා ඒ වටා පිහිටි පොදු ස්වාභාවික සම්පත් භාවිතා කිරීමට ඇති අයිතිය යි. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවට අනුව අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස සඳහන් කර ඇත. එමඟින් ඕනෑම ස්ථානයක භූමියේ හිමිකාරීත්වය දැරීමේ අයිතිය තහවුරු කර ඇත්තේ භූමියේ අයිතිය මත ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් බැදී පවතින නිසා ය. එසේ වුව ද අද වන විට මෙරට ජනතාවගේ භූමියට ඇති අයිතිය හා පොදු සම්පත් වලට ඇති අයිතිය සීග‍්‍රයෙන් අහිමි කරමින් තිබේ. ඒ සඳහා විවිධ භෞතික සැලැසුම් සකස් කර ජනතාවගෙන් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා නීති සංශෝධනය කිරීම සිදු කරමින් තිබේ. ඒ මඟින් මෙරට ජනතාවට හිමි භූමිය හා ස්වාභාවික සම්පත් විදේශීය සමාගම් වල ආයෝජනයන්ට නතු කර රටේ ජනතාවට එම සම්පත් වල අයිතිය අහිමි කර අනාථයින් බවට පත් කරමින් සිටී. මේ නිසා මෙරට ජනතාව ආර්ථික, සමාජයීය, සෞඛ්‍යය හා අධ්‍යාපනික මට්ටමින් දරුණු ලෙස පිරිහෙමින් තිබේ. නමුත් මෙරට ජනතාව ඒ පිළිබඳ ව නිසි ලෙස අවබෝධ කර ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.



ලෝක බැංකු නිර්දේශ හා ඉඩම් පනත් සංශෝධනය

ලෝක බැංකුව විසින් 2015 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ Sri Lanka Ending Poverty and promoting shared prosperity: A systematic country diagnostic නම් වාර්තාවට අනුව රජය විසින් ඉදිරියේ දී මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳ ව අවධාරණය කර ඇත. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට ප‍්‍රධාන වශයෙන් ම බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට විවෘත කළ යුතු බව පෙන්වා දී තිබේ. ඒ සඳහා පළමු පියවර තබමින් වත්මන් ආණ්ඩුව විසින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කර විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හා විදේශීය කොටස් හිමිකාරීත්වයක් ඇති ආයතන වලට ඉඩම් ලබා ගැනීමේ දී පනවා තිබු සීමාවන් හා බදු 2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනතේ 5අ වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම මගින් අහෝසි කෙරිණ.

මීට අමතරව විශේෂ ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම් ලබා දීමේ කි‍්‍රයාවලිය කඩිනම් කිරීමට 2015.12.30 වන දින අංක 2015/07 දරන චක‍්‍රලේඛය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. එම චක‍්‍රලේඛය අනුව රජය විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය හා දේශීය සෘජු ආයෝජන දිරිගැන්වීමේ ප‍්‍රතිපත්තික් අනුගමනය කරන බැවින් ඒ සඳහා කඩිනමින් ඉඩම් නිදහස් කිරීමේ අවශ්‍යතාවය මත මෙම චක‍්‍රලේඛය සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරුන්, නියෝජ්‍ය හා සහකාර ඉඩම් කොමසාරිස්වරුන් වෙත යොමු කර තිබේ. මෙය ද ලෝක බැංකු නිර්දේශ මත රජය විසින් කඩිනමින් කි‍්‍රයාත්මක කළ ජනතා විරෝධී ඉඩම් බැහැර කිරීමේ ක‍්‍රමයකි.



ගොවීන් අවතැන් කරන කුඹුරු පනත් සංශෝධනය

මෙයට අමතර ව ලෝක බැංකුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප‍්‍රකාශනය සම්පූර්ණයෙන් ම ඉලක්ක ගත කර ඇත. මෙම අය වැය ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ 1958 අංක 1 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර කුඹුරු ඉඩම්, වගා නොවන වෙනත් භාවිතාවන් සඳහා ලබා ගත හැකි වන පරිදි පනතේ වගන්ති සංශෝධනය කිරීම සිදු කරන බව ය. මෙවර අය වැයේ දී ද මෙවන් සංශෝධන බොහොමයක් ඇතුළත් විය හැකි බැවින් ජනතාව අවධානයෙන් සිටීම වැදගත් වේ. මීට අමතර ව 2017 නොවැම්බර් 14 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර ආයෝජන සඳහා පහසුවනු පිණිස කඩිනම් ඉඩම් නිදහස් කර ගැනීමේ ක‍්‍රමවේදය සැලසුම් කිරීමට පනතේ වගන්ති වෙනස් කරන බව ය. 2015 ලෝක බැංකු වාර්තාවට අමතර ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund) විසින් 2016 ජුනි 03 වන දින ශ‍්‍රී ලංකාවට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් අනුමත කළ අතර එහි දී ප‍්‍රධාන කරුණු 6 ක් යටතේ කෙටිකාලීන හා මධ්‍යකාලීන අසමතුලිතතා සහ අභියෝග ජය ගැනීම සඳහා උපායමාර්ගික ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණ. ඒ සඳහා වන වාර්තාව 2016 මැයි 19 වන දින Staff report for the 2016 article iv consultation and request for a three year extended arrangement under the extended fund facility නමින් ඉදිරිපත් කර තිබුණි. ඒ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවය, ආදායම් බලමුලූගැන්වීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය, මූල්‍ය ප‍්‍රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය. මෙම වාර්තාවෙන් ද අවධාරණය කර ඇත්තේ වෙළෙද හා ආයෝජන පහසුකම් සැපයීම සඳහා දැනට පවතින සංකීර්ණ ඉඩම් අණ පනත් සංශෝධනය කර සමාගම් වලට ඉඩම් පැවරීමේ කි‍්‍රයාවලීන් කඩිනම් කිරීමට අවශ්‍ය උපායමාර්ග සකස් කිරීමට ය. ඒ සියල්ල වත්මන් රජය විසින් මේ වන විටත් කඩිනමින් කි‍්‍රයාත්මක කරමින් ජනතාවගේ ඉඩම් අයිතිය සීග‍්‍රයෙන් අහිමි කරමින් සිටී.



ලෝක බැංකුවේ බලපෑම

අද වන විට මහවැලි කලාප සංවර්ධනය කරන්නේ මහ පරිමාණ සමාගම් වලට ඉඩම් හා ජලය ලබා දීම සඳහා ය. සුළු පරිමාණ ගොවීන් පීඩනයට ලක් කරමින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇති පරිදි අවාසිදායක සුළු පරිමාණ කෘෂිකර්මය වෙනුවට මහ පරිමාණ වාණිජ කෘෂිකර්මය ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. ඒ සඳහා ජනාධිපතිවරයා පමණක් නොව වත්මන් ආණ්ඩුව ඉතා හොඳීන් කි‍්‍රයා කරමින් සිටී. ඒ සඳහා අණ පනත් සංශෝධනය කර ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් සුළු පරිමාණ ගොවීන් වගා කටයුතු වලින් ඉවත් කිරීමට ඉතා සූක්ෂම කි‍්‍රයාමාර්ග ගැනේ. ඔවුන්ට වගා කිරීමට ඇති ඉඩම් සීමා කිරීම, අලි - මිනිස් ගැටුමට ගොදුරු කිරීමෙන් වගා බිම් වලින් ගොවීන් ඉවත් කිරීම, වාරි ජල පහසුකම් සඳහා තරගකාරීත්වයක් ඇති කිරීම වැනි කි‍්‍රයාමාර්ග වලින් සුළු ගොවීන් පීඩනයට ලක් කෙරේ. එහි ප‍්‍රධාන අරමුණ සුළු ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීම ය. මේ වන විට පොළොන්නරුව මහවැලි ප‍්‍රදේශ වල විශාල ඉඩම් අත්පත් කර ගෙන සිටින්නේ මහ පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයින් විසිනි. කි‍්‍රකට් කී‍්‍රඩකයන් හා මහ පරිමාණ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මේ ප‍්‍රදේශ වල ඉඩම් වල හිමිකාරීත්වය දරන අතර සුළු ගොවීන් එම ඉඩම් වල කම්කරුවන් තත්ත්වයට පත් කර ඇත.

මේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කන්දකාඩුව ප‍්‍රදේශයේ ඉඩම් මහ පරිමාණයෙන් ඩෝල් සමාගමට, බ‍්‍රව‍්‍රන්ස් සමාගමට, මරීනා සමාගමට කටුපොල් හා අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට ලබා දීමට වරින් වර පියවර ගැනුනි. ඒවා තරමක් දුරකට පරාජය කිරීමට අපට හැකි වූ නමුත් වත්මන් රජය පමණක් නොව පසුගිය රජය ද ඒ සඳහා කි‍්‍රයාත්මක විය. ඒ අනුව තහවුරු වන්නේ මෙය වත්මන් රජයේ ප‍්‍රතිපත්තියක් පමණක් නොව පොදුවේ ලෝක බැංකු නිර්දේශ මත කි‍්‍රයාත්මක වන සැලසුම් සහගත වැඩපිළිවෙළක් බව ය.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තර හා විල්ලූ පරිසර වාණිජ වගාවන් හා සත්ත්ව පාලනය සඳහා ලබා දීමට ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පැවරීමට ඉල්ලීම් කිරීමට ප‍්‍රථම කළ යුතු ව තිබුණේ නිවැරදි මූලික ශක්‍යතා ඇගයීමක් සිදු කර මෙම ඉඩම් භාවිත කිරීමේ හැකියාව පිළිබඳ ව සොයා බැලීමයි. එසේ සොයා බැලූවේ නම් මෙහි පවතින නීතිමය තත්ත්වය ද හ`දුනා ගත හැකි ව තිබුණි. එපමණක් නොව මෙම ප‍්‍රදේශ වල පවතින ජල විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක, සත්ත්ව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම් නිසි පරිදි අවබෝධ කර ගත හැකි වනු ඇත. නමුත් ලෝක බැංකු නිර්දේශ මත මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා ඉඩම් ලබා දීම රාජ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස පැවතීම නිසා ඒ සියල්ල හිතාමතා ම මඟ හැරීමට සිදු වී ඇත.



2025 දැක්මෙන් රටේ ඉඩම් සමාගම් වලට විකිණීම

2015 වාර්තාවට අනුව ලෝක බැංකු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක‍්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප‍්‍රකාශනය හා වත්මන් ආණ්ඩුවේ ආර්ථික දර්ශනය වන ‘‘2025 දැක්ම හා පොහොසත් රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙන් කර ඇත. 2018 අය වැය ප‍්‍රකාශනයේ ඉඩම් හා කෘෂිකාර්මික අණ පනත් සංශෝධනය කර ඉඩම් ලිබරල්කරණය නැතහොත් නිදහස් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ 2025 දැක්මෙහි සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පැරණි ඉඩම් ප‍්‍රතිපත්තිය, ඉඩම් වෙළෙඳපොළ අකාර්යක්ෂමතාව හා අසංවිධිත තත්ත්වයන් ආයෝජන අවස්ථා මන්දගාමී කරන ප‍්‍රවනතාවක් නිර්මාණය කර ඇති බව ය. එපමණක් නොව මේ නිසා පුද්ගලික ආයෝජන සඳහා බාධා පමුණුවන හෙයින් සක‍්‍රීය ඉඩම් වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඉඩම් බැංකුව ස්ථාපිත කර රටේ විශාලත ම ඉඩම් හිමිකරුවා ලෙස රජය ඉඩම් වෙළෙඳපොළ තුළ තරඟකාරී කොටස්කරුවකු වනු ඇති බව ද සඳහන් කර ඇත. මේ සියලූ කරුණු ඉතා ම පැහැදිලි ව 2015 ලෝක බැංකු වාර්තාවේ ඒ ආකාරයෙන් ම සඳහන් කර තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවගේ පොදු භාවිත ඉඩම් අයිතිය සම්පූර්ණයෙන් ම අකි‍්‍රය කරමින් මහ පරිමාණ ආයෝජන සඳහා ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට ක‍්‍රියාමාර්ග ගන්නා බව ය.

එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි මත රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය යටතේ රජය සතු වතු ඉඩම් සමාගම් වලට බදු දීමටත්, ආයෝජන පහසුකම් සැපයීම සඳහා ඉඩම් බැංකු පිහිටුවා විවෘත වෙළෙඳපොළ තුළ විදේශීය මහ පරිමාණ සමාගම් වලට විවිධ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගත හැකි ඉඩ ප‍්‍රස්ථාවන් ගොඩනැංවීමට පියවර ගනිමින් සිටින බව යි. ඒ සඳහා නීල-හරිත අය වැයක් ලෙස සඳහන් කරමින් 2018 අය වැය ප‍්‍රකාශනය ඉදිරිපත් කළ ද එහි සැඟවුණු අරුත වන්නේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් මෙරට ජනතාවට අහිමි කරමින් විවෘත වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම ය. මෙවර අය වැයට ද මෙවන් සුවිශේෂී සංකල්ප තුළ දවටා ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් රටේ ජනතාවට අහිමි කරන බොහෝ දේ ඇතුළත් විය හැකි ය. නමුත් ඒ පිළිබඳ ව ජනතාවගේ අවධානය මද වීම කණගාටුවට කරුණකි.



ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම මඟ හැරීම

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ නිර්දේශ මත කඩිනමින් ඉඩම් අණ පනත් හා චක‍්‍රලේඛ සංශෝධනය කළ ද වසර 32 ක් ගත වී ඇතත් රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ සඳහන් ‘‘ජාතික ඉඩම් කොමිෂන් සභාව’’ පිහිටුවීමට මෙතෙක් බලයට පත් වූ සියලූම ආණ්ඩුවලට නොහැකි වී ඇත.

ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ II පරිශිෂ්ටය මඟින් ‘‘ජාතික ඉඩම් කොමිෂන් සභාවක්’’ පිහිටුවිය යුතු බව දක්වා ඇත. මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධ ‘‘ජාතික ඉඩම් ප‍්‍රතිපත්තියක්’’ සකස් කිරීමයි. මෙම නීතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇත්තේ 1987 දී වුව ද ‘‘ජාතික ඉඩම් කොමිෂන් සභාව’’ මේ දක්වා ස්ථාපිත කර නොමැත. මෙම II පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ කරුණු ගණනාවක් දක්වා ඇත. එනම් ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු විය යුතු ය. ඒ කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතා ව හා සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ ව වගකිව යුතු ය. මේ කොමිෂන් සභාවට දිවයිනේ සියලූ ම පළාත් සභා වල නියෝජිතයන් ඇතුළත් විය යුතු ය. ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇගයීම සඳහා අවශ්‍ය අදාළ සියලූ විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් තිබිය යුතු ය. ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශෙයෙන් නොව තාක්ෂණික සාධක මත පදනම් විය යුතු ය. ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්‍යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ව ඉඩම් භාවිතා ව හා සම්බන්ධ පොදු න්‍යාය නියම කළ යුතු ය. පළාත් සභා වෙත පැවරෙන බලතල කි‍්‍රයාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප‍්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් ව තම බලබල කි‍්‍රයාත්මක කළ යුතු ය වශයෙනි. මෙම කරුණු කි‍්‍රයාත්මක කිරීමට බලයට පත් වන සෑම රජයක් ම වගකීමෙන් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බැදී සිටී. මේ සියල්ල ව්‍යවස්ථාවට පමණක් සීමා වී තිබීම රටේ ජනතාවගේ අවාසනාවකි.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මගින් ජනතාව රැවටීම

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත සකස් කළ ප‍්‍රතිපත්ති ඔස්සේ වත්මන් ආණ්ඩුව ගමන් කිරීමෙන් මෙරට ජනාධිපතිවරණයේ දී ජනතාව සමඟ සම්මුති ගත වු ‘‘මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අරමුණුවලට ළඟා වීමට හෝ 2015 සැප්තැම්බර් 25 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගත් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කිරීමට හෝ අප රටට නොහැකි වනු ඇත. තිරසර සංවර්ධන ඉලක්ක 17 හි 2 වන ඉලක්කය වන සාගින්න දුරලා ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීම, පෝෂණය වැඩි දියුණු කිරීම සහ තිරසර කෘෂිකර්මයක් ප‍්‍රවර්ධනය කිරීමට මෙරට ඉඩම් විවෘත වෙළෙඳපොළට නතු කිරීම මගින් හැකියාව නොලැබේ. මෙම ඉලක්කවල විග‍්‍රහ කර ඇත්තේ 2030 වන විට ලෝකයේ සියලූ ගැහැනු හා මිනිසුන්ට, විශේෂයෙන් දුප්පතුන් හා අවදානමට ලක් වී සිටින්නන්ට, ආර්ථික සම්පත්, අත්‍යවශ්‍ය සේවාවන්, ඉඩම්, අනෙකුත් දේපොළ හා ස්වාභාවික සම්පත් සඳහා ඇති අයිතිය, යෝග්‍ය තාක්‍ෂණය හා මූල්‍ය සේවාවන්ට ඇති අයිතිය තහවුරු කිරීම ලෝකයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ඇති මාර්ගය වන බව ය. නමුත් ලෝක බැංකුවේ නිර්දේශ වී ඇත්තේ දුප්පත්කම අඩු කිරීම සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කළ යුතු බව ය. ඒ මගින් රටේ ජනතාවට, විශේෂයෙන් සුළු පරිමාණ ගොවි ජනතාවට ඉඩමට ඇති අයිතිය අහිමි වීම පමණක් නොව ජල පෝෂක බිම්, ආපදා තත්ත්වයන් පාලනය කරන ස්වාභාවික සම්පත් ඇතුළු බොහොමයක් අහිමි වී යයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතුරින් 15 වන ඉලක්කය වන පරිසර පද්ධති සුරක්‍ෂිත කිරීම, ප‍්‍රතිසංස්ථාපනය කිරීම, දරාගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප‍්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර කළමනාකරණය සහ ඉඩම් හා ජෛව විවිධත්වය විනාශ වීම නැවැත්වීම වෙනුවට වත්මන් ආණ්ඩුව ක‍්‍රියාකරමින් සිටින්නේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ තුළ විදේශ ආයෝජනයන්ට නතු කරමින් රටේ ජනතාවට අහිමි කිරීමට ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ එක මාවතකත් ලෝක බැංකුවේ නිර්දේශ තව මාවතකත් ගමන් කරද්දී ආණ්ඩුවට සිදු වී ඇත්තේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරන බව පෙන්වීමට 2017 අංක 19 දරන ශී‍්‍ර ලංකා තිරසර සංවර්ධන පනත සම්මත කිරීම පමණි. එමගින් කිසිඳු ආකාරයකින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගත නොහැකි වනු ඇත.



රටේ ඉඩම් රජයට විකිණිය නොහැකිය

ආණ්ඩුවකට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විකිණීමේ අයිතියක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක 884/99 දරන (බුලංකුලම සහ තවත් අය එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා තවත් අය නඩුවට අනුව) එප්පාවල පොස්පේට් නිධියට විකිණීම වැළැක්වීමට අදාළ නඩුවේ තීන්දුවට අනුව, ආණ්ඩුවක් යනු රටේ තාවකාලික භාරකරුවකු පමණි. ඔහු රටේ අයිතිකරුවා නොවේ. එවන් ආණ්ඩුවකට රටේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විකිණීමට අයිතියක් නැත. ඒ සඳහා වන නීති සම්පාදනය කිරීමට ද අයිතියක් නැත. ඊට හේතුව රටේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය මත රාජ්‍යයක් ගොඩනගන්නේ ජනතාවගේ ඡන්ද බලය භාවිතා කර ජනතාව සතු විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය රාජ්‍යය වෙත ලබා දීමෙනි. නමුත් රජයක් ගොඩ නැගීමේ දී ජනතාව සතු මූලික අයිතිවාසිකම් රජයට පැවරීම සිදු නොකරයි. මේ නිසා ජනතාව සතු භූමියට ඇති අයිතිය, පොදු භාවිත සම්පත් වලට ඇති අයිතිය, ස්වාභාවික සම්පත් වලට ප‍්‍රවිශ්ඨ වීමට ඇති අයිතිය, ජලයට ඇති අයිතිය රාජයකට අහිමි කළ නොහැකි ය. ඒ පිළිබඳ ව ජනතාවගෙන් නොවිමසා රජයකට තීන්දු තීරණ ගත නොහැක. රජයේ ඉඩම් අයිතිය යන්නෙන් පිළිබිඹු කරන්නේ රටේ ඉඩම් අයිතිය ජනතාව සතු බව ය. ජනතාව සතු එම ඉඩම් බෙදා දිය යුත්තේ ඉඩම් හිමිකම නොමැති සැබෑ සුදුස්සන් තෝරා ගැනීමෙනි. රජයේ පරමාර්ථය විය යුත්තේ මහජන යහපත හා රටේ සංවර්ධනය මිස ඉඩම් වෙළෙදාම නොවිය යුතු ය.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මෙරට ඉඩම් විවෘත වෙළෙදපොළට යොමු කිරීම තහවුරු කිරීමට 1972 අංක 1 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත වෙනුවට රාජ්‍ය ඉඩම් බැංකු පනත නමින් පනතක් ස්ථාපිත කර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පවතින අක්කර 9,81,368 ක් වන සියලූ ඉඩම් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට සූදානම් වේ. එමගින් වැවිලි ඉඩම් වැවිලි නොවන භාවිතාවන් සඳහා විවිධ මහ පරිමාණ සමාගම්වලට ලබා දීමට සූදානම් වේ. මෙය කඩිනමින් පරාජය කළ යුතු ය. එසේ නොමැති වුවහොත් වතුකර ජනතාවට ඉඩම් අයිතිය ලබා ගැනීමේ සිට මෙරට සුළු පරිමාණ ගොවියා දක්වා බොහෝ පිරිසකට ජලය ඇතුළු පොදු භාවිත සම්පත් බොහොමයක් අහිමි වී යනු ඇත. මේ නිසා ඉඩම් බැංකු පනත පරාජය කිරීම පමණක් නොව සමාජ ආරක්ෂණ අණ පනත් සංශෝධනය කර ඉඩම් හා කෘෂිකාර්මික බිම් රටේ ජනතාවට අහිමි කිරීම වහා ම නතර කිරීමට පියවර ගත යුතු ය. ඒ සඳහා සියලූම ජනතාවගේ දැනුම්වත්භාවය හා ඒකරාශී වීම මත රජයට බලපෑම් කිරීම අත්‍යවශ්‍යව ඇත.