කොටිකම්බොක්ක, කොස්ගහවෙල රක්ෂිතය හරහා මාර්ගයක් කපා එහි ඇති සුදු තිරුවානා නිධිය කැනීමට

සජීව චාමිකර

ජනාධිපතිවරයාගේ නියමයෙන් වැල්ලවාය කොටිකම්බොක්ක, කොස්ගහවෙල රක්ෂිතය හරහා මාර්ගයක් කපා එහි ඇති සුදු තිරුවානා නිධිය කැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන G.S.M.B Technical Service (pvt) Ltd සමාගමට ලබා දීමට තීරණය කර තිබේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඉකුත් මැයි මස 10 වන දින භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට ලිපියක් යවමින් පවසා ඇත්තේ 2016 මාර්තු මස 31 දින පරිසර අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති හෙයින් කඩිනමින් අදාල සමාගමට මෙම මාර්ගය කපා එහි කැනීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය අඩවියේ ඇතිලිවැව බීට්ටුවට අයත් කොට්කම්බොක්ක, කොස්ගහවෙල රක්ෂිතය ඉහල ජෛව විවිධත්වයකින් යුත් ජල සංවේදි සුවිශේෂි පරිසර පද්ධතියක් බවත්, එවැනි පරිසර පද්ධතියක් හරහා නව මාර්ගයක් ඉදිකර එහි ඇති සුදු තිරුවානා නිධිය කැනීම සදහා අවසර ලබාදීම පරිසර හා සමාජ ගැටළු රැසකට හේතුවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
අන්තර් කලාපීය සවානා මිශ්‍ර වනාන්තර දර්ශකයක් වන මෙහි ගම්මාලු , අරළු, බුළු, වෙලං, මිල්ල, දද කිරල වැනි ශාක ප්‍රමුඛ වන අතර, මෙරටට ආවේනික උඩවැඩියා විශේෂ රැසක්ද මෙහි හමුවේ. ඊට අමතරව වලිකුකුලා, මුවා, ගෝනා, හාවා වැනි සතුන් මෙම පරිසර පද්ධතිය වාසස්ථාන කර ජීවත්වෙන බවත්, වන අලි සංක්‍රමනික මාර්ගයක් මේ ඔස්සේ වැටී ඇති බවත්, අනාවරණය වී තිබේ.
උමාඔය බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ යෝජිත අලිකොට ආර ජලාශයට උතුරු කෙලවරින් කැපීමට සූදානම් කර ඇති මීටර් 08 ක් පළල දිගින් මීටර් 400 ක් පමණ වන මෙම මාර්ග සදහා මෙම කොටසේ ඇති වගා ශාක 250-300 ක් අතර ප්‍රමාණයක් හෝ ඊට වැඩියෙන් කපා ඉවත් කිරීමට සිදුවන බව හෙලිව තිබේ. මෙවැනි සංවේදී පරිසර පද්ධතියක් මතින් මෙවැනි මාර්ග ඉදිකිරීම හේතුවෙන් වනාන්තර විභේදනයත් ජෛව හායනයත් සිදුවන බව මොනරාගල සොබා පදනම පවසයි. යෝජිත අලිකොට ආර ජලාශයේ හා අලි කොට ආර ඔයේ ප්‍රධාන පෝෂක වනාන්තරය වන මෙම කොස්ගහවෙල රක්ෂිතයේ වන වැස්ම ඉවත් කල හොත් එය යෝජිත අලිකොටආර ජලාශයේ පැවැත්මට තර්ජනයක් බවත්, එහෙයින් එම වන වැස්ම ඉවත් කිරීමට ඉඩ නොදෙන ලෙස උමාඔය වාරි ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරු ජී.එම්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා මොණරාගල දිසා වන නිළධාරියාගෙන්ද ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ, රත්නවීර ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති G.S.M.B Technical Service (pvt) Ltd සමාගම කොටිකම්බොක්ක කොස්ගහවෙල රක්ෂිතයෙන් සුදු තිරුවානා කැනීම සදහා අවසර ඉල්ලා ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 02 කි. 1980 අංක 47 දරන පරිසර පනතින් ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 722/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාරයකට වැඩි වන වැස්මක් එලිකර මෙවැනි කැනීම් කටයුත්තක් කරන්නේ නම් ඒ සදහා අනිවාර්යයෙන් පරිසර බලපෑම් තක්සේරුවක් (EIA) කල යුතුව තිබේ. නමුත් ජී.එස්.එම්.බී තාක්ෂණික සේවා පෞද්ගලික සමාගම උත්සාහ ගනිමින් සිටිනුයේ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සිදු නොකොට මෙම ඛනිජ නිධියේ කැනීම් කටයුතු සිදු කිරීමටය. මේ සදහා ඔවුන් දේශපාලකයින්ද අදාල ආයතනයන්ට බලපෑම් කරමින් සිටින බවට අනාවරනය වී තිබේ.
ජනාධිපතිවරයා මෙරට පරිසර ඇමතිවරයායි. එතුමා පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැපවෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. නමුත් එතුමාගේ අතින් සිදු කිරීමට යන මෙම වන විනාශය එතුමා නොදන්නා විය නොහැක. එහෙයින් මෙම ජෛව විවිධත්වයෙන් පොහොසත් වැල්ලවාය, කොට්කම්බොක්ක, කොස්ගහවෙල රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට අප ඔබ සැමට එක්රොක්වන ලෙස අයාචනාත්මකව ඉල්ලමු.