කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශයේ වනාන්තර සහ විල්ලූ අක්කර 8500ක් මහ පරිමාණ සමාගම් වලට ලබා දී පොළොන්නරුවේ ගොවීන් හා අලි වැනසීමට රජය සැරසෙයි

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය





මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහ පරිමාණ සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කර ඇත.

මහවැලි ගඟේ ප‍්‍රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශි‍්‍රත ව පිහිටි විල්ලූ හා ජල පෝෂක වනාන්තර මෙලෙස සමාගම් වලට ලබා දීමට සැලසුම් කර තිබේ. 300 කට අධික අලි ගහනයකගේ නිජබිම වන මෙම ප‍්‍රදේශය විනාශ කිරීම සිදු වුවහොත් දැනට පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන වල පවතින අලි - මිනිස් ගැටුම උග‍්‍ර මට්ටමකට පරිවර්තනය වේ. මහවැලි බී කලාපයට අයත් ගම්මාන 38 න් ගම්මාන 27 ක පමණ අලි - මිනිස් ගැටුම පවතී. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ මේ තත්ත්වය තවදුරටත් උග‍්‍ර වනු ඇත. පසුගිය වසරේ දී වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් අලි මරණ 23 ක් හා අලින්ගේ පහර දීම් හේතුවෙන් මිනිස් මරණ 6 ක් පමණ සිදු ව තිබේ. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ ම ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ගොවීන්, අලි - ඇතුන් හා වගා බිම් විශාල ප‍්‍රමාණයක් රටට අහිමි වනු ඇත.

මහවැලි මහ සැලැස්මට අනුව කි‍්‍රයාත්මක වූ මහවැලි කඩිනම් යෝජනා ක‍්‍රමය හේතුවෙන් අවතැන් වූ අලි - ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට වාසස්ථාන සැපයීම හා කෘෂිකර්මාන්තයේ තිරසර පැවැත්ම තහවුරු කිරීමට ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා මහවැලි පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය ස්ථාපිත කර තිබේ. වස්ගමුව ජාතික වනෝද්‍යානය, ගංගාධාර ස්වභාව රක්ෂිතය, ජලගැළුම්නිම්න ජාතික වනෝද්‍යානය, මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනෝද්‍යානය, ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය වශයෙන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ජාතික රක්ෂිත ජාලය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම රක්ෂිත වනාන්තර ජාලයේ අලි - ඇතුන් ඇතුළු බොහෝ ජීවීන්ගේ පැවැත්මට හා විල්ලූ ඇතුළු මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ ජල පෝෂක වල පැවැත්මට දැඩි තර්ජන එල්ල කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ හා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර පිහිටන කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශයේ වනාන්තර හා විල්ලූ වාණිජ වශයෙන් අව භාවිතා කිරීමට නියමිත ව ඇත.



කැබිනට් අනුමැතිය

‘‘පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන’’ යටතේ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශ වල වනාන්තර සහ විල්ලූ හෙක්ටයාර 3415 ක භූමි ප‍්‍රමාණයක් කෘෂි කාර්මික හා සත්ත්ව පාලනය ආශි‍්‍රත කෘෂි ව්‍යාපාර ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට එම ඉඩම් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබේ. ඒ සඳහා 2018 නොවැම්බර් මස 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

වනාන්තර හා වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැළැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැක ගැනීමට තරාතිරම නොබලා සියලූ පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමටත්, සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවධියේ දී ම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්යය කිරීමටත් කටයුතු කරන බවට ‘‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ආකාරයෙන් වනාන්තර හා වන සතුන්ගේ වාසස්ථාන හා සංවේදී පරිසර පද්ධති මහ පරිමාණයෙන් විනාශ කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම අප දැඩි ලෙස හෙළා දකිමු. ලංකාවේ වනාන්තර ආවරණය 32% දක්වා වැඩි කරන බවට පුන පුනා වහසිබස් පවසන ජනාධිපතිතුමන් දැනට ඉතිරි වී තිබෙන සුවිශේෂී වනාන්තර පද්ධති විනාශ කිරීමට සැලසුම් සකස් කිරීමෙන් පෙනී යන්නේ ජනතාව වචන වලින් සන්තර්පනය කර මුලා කිරීමට කටයුතු කරන බව ය. මෙය දේශපාලකයන්ගේ ස්වභාවය ලෙස පමණක් සිතා ඉවත දැමිය නොහැක. ඉන් සිදු වන අනර්ථයට එරෙහි ව කටයුතු කළ යුතු ව ඇත.

මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සිහිනයක් මල්ඵල ගැන්වීමක් ලෙස ඉදි කළ මොරගහකන්ද හා කළු ගඟ ජලාශ දෙකෙන් ජලය ලබා ගෙන මහවැලි එල් කලාපය සංවර්ධනය කිරීමේ දී මැදිරිගිරිය පහළ කොටසේ ඇටඹ ඔය ගම්මානය ඉදි කිරීමත් සමඟ අවතැන් වන අලි - ඇතුන් විශාල ප‍්‍රමාණයක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයට යොමු වන අතර එම සතුන්ගේ වාසස්ථාන වන්නේ ද කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු විල්ලූ හා වනාන්තර පරිසරයන් ය. ඇටඹ ඔය ගම්මානය සංවර්ධනය කිරීමේ දී විශාල වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් අවතැන් වන අලි - ඇතුන්ට වාසස්ථාන සැපයීමට ඇති වනාන්තර හා විල්ලූ විනාශ කිරීමෙන් අලි - මිනිස් ගැටුම වර්ධනීය මට්ටමකට පත් වනු ඇත.



අලි - මිනිස් ගැටුමට හේතු.

වැලිකන්ද - ති‍්‍රකෝණමඩු වන අලි පිවිසුම් වනාන්තර තීරයේ අක්කර 1000 ක් පමණ රත්න සහල් මෝල සඳහා ලබා දීම මෙම ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම වර්ධනය වීමට ප‍්‍රධාන වශයෙන් ම බලපා තිබේ. එම ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා නොදෙමින් තවදුරටත් වනාන්තර හා විල්ලූ පරිසර විනාශ කිරීමෙන් මේ ප‍්‍රදේශයේ ගොවි ජනතාවට අලි - ඇතුන්ගේ පීඩාවන්ට දරුණු ලෙස ගොදුරු වීමට සිදු වනු ඇත.

මහ පරිමාණ හරක් පට්ටි හිමිකරුවන් විසින් තෘණ භූමි පවත්වාගෙන යාම සඳහා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය තුළ පිහිටන මල්වත්ත විල්ලූව, ති‍්‍රකෝණමඩු විල්ලූව, කුඩා පොකුණ විල්ලූව යන සුවිශේෂී විල්ලූ පරිසර වල ජලය රඳා නොපවතින පරිදි සකස් කිරීම සිදු කරයි. මේ නීති විරෝධී හා හානිකර කි‍්‍රයා නිසා අලි - ඇතුන්ගේ ප‍්‍රධාන ආහාර බිම් අහිමි වී ඇත. මීට අමතර ව පංසල් වැව, හෙසව වැව, ති‍්‍රකෝණමඩු වැව හා සර්වෝදය වැව ප‍්‍රතිසංස්කරණය නොකිරීම ද මේ ප‍්‍රදේශයේ අලි - ඇතුන් ගම් වැදී වගා හානි හා මිනිස් ජීවිත වලට හානි සිදු කිරීමට හේතු වී ඇත.

එවැනි ගැටලූ ගණනාවක් පවතිද්දී අක්කර 8500 ක වනාන්තර හා විල්ලූ විනාශ කර වාණිජ කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමෙන් කන්දකාඩුව, ගල්කන්ද, සිංහපුර, මුතුවැල්ල වැනි ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම ප‍්‍රදේශ ආශි‍්‍රත ව සුළු පරිමාණ ගොවීන්ට ලබාදිය හැකි විශාල ඉඩම් පවතී. ඒ වෙනුවට මහ පරිමාණ සමාගම් වලට වාණිජ වගාවන් හා සත්ත්ව පාලනය සඳහා වනාන්තර හා විල්ලූ ලබා දීමෙන් සිදු වන්නේ සුළු පරිමාණ ගොවීන් ජල අර්බුද වලට ගොදුරු වීම හා අලි - මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් කිරීම ය.

ගල්තලාව, නෙළුම් වැව, බෝවත්ත, මලින්ද, මල්විල, මදුරංගල, කටුවංවිල, මුතුවැල්ල, ගල්කන්ද, සිංහපුර, මහසෙන්පුර, මෛති‍්‍රගම, අසේලපුර, නාමල්ගම හා රුවන්පිටිය වැනි ගම්මාන වල සුළු පරිමාණ ගොවීන්ට වගා කිරීම සඳහා ලබාදිය හැකි ඉඩම් විශාල ප‍්‍රමාණයක් පවතී. ඒ පිළිබඳ ව අවධානය යොමු නොකර සමාගම් වලට මහ පරිමාණයෙන් සුවිශේෂී වනජීවී වාසස්ථාන ලබා දීමෙන් සිදු වන්නේ අනර්ථයකි. මේ පිළිබඳ ව අවබෝධ කර ගැනීමට හැකියාවක් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට හා අමාත්‍ය මණ්ඩලයට නොමැති වීම කනගාටුවට කරුණකි.

පසුගිය පාලන සමයේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ අක්කර 20,000 කට අධික වනාන්තර ප‍්‍රමාණයක් විනාශ කර මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනය හා හම්බන්තොට වාණිජ නගරය ස්ථාපිත කළ අතර අද වන විට එම ප‍්‍රදේශයේ ජීවත් වූ අලි - ඇතුන් දැවැන්ත අවතැන්වීමකට ලක් වී ඇත. එම සතුන් නිරන්තරයෙන් ම සුළු ගොවීන්ගේ වගා බිම් ආක‍්‍රමණය කරති. මේ නිසා උග‍්‍ර අලි - මිනිස් ගැටුමකට හම්බන්තොට දිස්ති‍්‍රක්කය මුහුණ දී සිටී. එම නිසා සුළු ගොවීන් විශාල ප‍්‍රමාණයක් අවතැන් වී ඇත. එම තත්ත්වයට පොළොන්නරුව දිස්ති‍්‍රක්කය ගොදුරු කිරීමට මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට කි‍්‍රයා කරමින් සිටී. පූර්වාදර්ශ බොහොමයක් තිබිය දී නැවත නැවතත් එක ම වැරැුද්ද සිදු කිරීමෙන් පෙනී යන්නේ ජනතාව පිළිබඳ ව නොතකමින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සමාගම් පෝෂණය කිරීම වෙනුවෙන් සෑම පාලකයකුම ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් බලයට පැමිණ කටයුතු කරන බව ය.



ලෝක බැංකුවේ බලපෑම

අද වන විට මහවැලි කලාප සංවර්ධනය කරන්නේ මහ පරිමාණ සමාගම් වලට ඉඩම් හා ජලය ලබා දීම සඳහා ය. සුළු පරිමාණ ගොවීන් පීඩනයට ලක් කරමින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇති පරිදි අවාසිදායක සුළු පරිමාණ කෘෂිකර්මය වෙනුවට මහ පරිමාණ වාණිජ කෘෂිකර්මය ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. ඒ සඳහා ජනාධිපතිවරයා පමණක් නොව වත්මන් ආණ්ඩුව ඉතා හොඳීන් කි‍්‍රයා කරමින් සිටී. ඒ සඳහා අණ පනත් සංශෝධනය කර ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් සුළු පරිමාණ ගොවීන් වගා කටයුතු වලින් ඉවත් කිරීමට ඉතා සූක්ෂම කි‍්‍රයාමාර්ග ගැනේ. ඔවුන්ට වගා කිරීමට ඇති ඉඩම් සීමා කිරීම, අලි - මිනිස් ගැටුමට ගොදුරු කිරීමෙන් වගා බිම් වලින් ගොවීන් ඉවත් කිරීම, වාරි ජල පහසුකම් සඳහා තරගකාරීත්වයක් ඇති කිරීම වැනි කි‍්‍රයාමාර්ග වලින් සුළු ගොවීන් පීඩනයට ලක් කෙරේ. එහි ප‍්‍රධාන අරමුණ සුළු ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීම ය. මේ වන විට පොළොන්නරුව මහවැලි ප‍්‍රදේශ වල විශාල ඉඩම් අත්පත් කර ගෙන සිටින්නේ මහ පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයින් විසිනි. කි‍්‍රකට් කී‍්‍රඩකයන් හා මහ පරිමාණ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මේ ප‍්‍රදේශ වල ඉඩම් වල හිමිකාරීත්වය දරන අතර සුළු ගොවීන් එම ඉඩම් වල කම්කරුවන් තත්ත්වයට පත් කර ඇත.

මේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කන්දකාඩුව ප‍්‍රදේශයේ ඉඩම් මහ පරිමාණයෙන් ඩෝල් සමාගමට, බ‍්‍රව‍්‍රන්ස් සමාගමට, මරීනා සමාගමට කටුපොල් හා අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට ලබා දීමට වරින් වර පියවර ගැනුනි. ඒවා තරමක් දුරකට පරාජය කිරීමට අපට හැකි වූ නමුත් වත්මන් රජය පමණක් නොව පසුගිය රජය ද ඒ සඳහා කි‍්‍රයාත්මක විය. ඒ අනුව තහවුරු වන්නේ මෙය වත්මන් රජයේ ප‍්‍රතිපත්තියක් පමණක් නොව පොදුවේ ලෝක බැංකු නිර්දේශ මත කි‍්‍රයාත්මක වන සැලසුම් සහගත වැඩපිළිවෙළක් බව ය.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තර හා විල්ලූ පරිසර වාණිජ වගාවන් හා සත්ත්ව පාලනය සඳහා ලබා දීමට ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පැවරීමට ඉල්ලීම් කිරීමට ප‍්‍රථම කළ යුතු ව තිබුණේ නිවැරදි මූලික ශක්‍යතා ඇගයීමක් සිදු කර මෙම ඉඩම් භාවිත කිරීමේ හැකියාව පිළිබඳ ව සොයා බැලීමයි. එසේ සොයා බැලූවේ නම් මෙහි පවතින නීතිමය තත්ත්වය ද හ`දුනා ගත හැකි ව තිබුණි. එපමණක් නොව මෙම ප‍්‍රදේශ වල පවතින ජල විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක, සත්ත්ව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම් නිසි පරිදි අවබෝධ කර ගත හැකි වනු ඇත. නමුත් ලෝක බැංකු නිර්දේශ මත මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා ඉඩම් ලබා දීම රාජ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස පැවතීම නිසා ඒ සියල්ල හිතාමතා ම මඟ හැරීමට සිදු වී ඇත.



අණ පනත් උල්ලංඝනය කරමින් වනාන්තර ඉඩම් සමාගම් සතු කිරීම

කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශ සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතයට සම්බන්ධව පිහිටා තිබේ. මේ නිසා 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක හෝ ස්වභාව රක්ෂිතයක මායිමේ සිට සැතැපුම් එකක සීමාවේ පිහිටි රජයේ හෝ පෞද්ගලික ඉඩමක වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අනුමැතියකින් තොරව කවර ආකාරයක හෝ සංවර්ධන කි‍්‍රයාකාරකමක් සිදු කළ නොහැකි ය. එම ලිඛිත අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. එහි දී සකස් කරන වාර්තාව දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා ද දින 60 ක කාලයක් වනජීවී උපදේශක කමිටුවේ අදහස් සඳහා ද විවෘත කර තැබිය යුතු ය. එම සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරණු ලැබේ.

මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානයක හෝ ස්වභාව රක්ෂිතයක මායිමේ අනවසර සංවර්ධන කටයුතු වල නිරත වන පුද්ගලයකු අධිකරණයෙන් වැරදිකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා රුපියල් පනස් දහසකට නොවැඩි දඩ මුදලකට හෝ අවුරුදු දෙකත් පහත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩ මුදල හා බන්ධනාගාර ගත කිරීම යන දඬුුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මේ අයුරින් ජාතික වනෝද්‍යානයක හෝ ස්වභාව රක්ෂිතයක මායිමේ සිදු වන සංවර්ධන කි‍්‍රයා පාලනය කර ඇත්තේ එමඟින් ආරක්ෂක කලාපයේ ජෛව ප‍්‍රජාවට ඇති විය හැකි බලපෑම් පාලනය කිරීම සඳහා ය. නමුත් එම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය මායිමේ සැතපුමක සීමාව තුළ මහ පරිමාණ වාණිජ කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය ස`දහා ඉඩම් නිදහස් කිරීමට කටයුතු කිරීම නීති විරෝධී හා ඉතා ම හානි කර තත්ත්වයකි.

එපමණක් නොව 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි කැළෑ ඉඩම් එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.

එපමණක් නොව 1940 අංක 09 දරන සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් නීතිමය තත්ත්වයන් පිළිබඳ ව අවබෝධයකින් තොර ව ජනාධිපතිවරයා විසින් කැබිනට් පති‍්‍රකා ඉදිරිපත් කිරීම හා කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා අනුමැතිය ලබා දීමෙන් පෙනී යන්නේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා පමණක් නොව කැබිනට් මණ්ඩලය ද ලංකාවේ පාරිසරික නීති පිළිබඳ ව කිසිදු තැකීමක් සිදු නොකරන බව ය.

මේ අයුරින් අණ පනත් ගණනාවකට යටත් වන ව්‍යාපෘතියක් දේශපාලන හෝ සමාගම්වල බලපෑම මත මෙම පියවරයන් උල්ලංඝනය කරමින් ක‍්‍රියාත්මක කළ නොහැකි ය. මෙම අණ පනත් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට බලපෑම් කිිරීමට කිසිදු දේශපාලකයකුට අයිතියක් නැත. එසේ කිරීම ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයේ 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක‍්‍රියාත්මක කිරීම ද, නීතිය රැුකවරණය ද සර්ව සාධාරණ ව සිදු විය යුතු ය යන්න උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් සම්මත කරගත් මානව අයිතිවාසිකම් ප‍්‍රකාශනයේ 7 වන වගන්තිය අනුව නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන වෙතී යන්න උල්ලංඝනය කිරීමකි. දේශපාලන බලය මත හෝ චීන සමාගම්වල බලපෑම් මත පාරිසරික නීති උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කිරීමට කිසිදු හැකියාවක් නොමැත. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බලපෑම මත මෙම මහ පරිමාණ ඉඩම් බෙදා දීම් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ විශාල අගතියකි.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මුලික අයිතිවාසිකම් බොහෝමයක් ජනයාට අහිමි වන බව පෙනීයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) හා (ඌ) උප ව්‍යවස්ථාවල සඳහන් පරිදි නීත්‍යනුකූල වෘත්තීයක, කර්මාන්තයක නිරතවීමේ අයිතිය හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස මෙම ඉඩම් බෙදා දීම් හේතුවෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සුළු පරිමාණ ගොවි ජනතාවට අහිමි කරනු ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු බව සඳහන් වුව ද රජය උත්සාහ දරන්නේ පරිසරය විනාශ කර ජනතාව ජල අර්බුද, අලි - මිනිස් ගැටුම හා දේශගුණික විපර්යාස වල ගොදුරක් බවට පත් කිරීමට ය.

මේ නිසා මෙම හානි කර ඉඩම් බෙදා දීම් වලට එරෙහි ව කටයුතු කිරීමේ යුතුකමක් සියලූම පුරවැසියන්ට ඇත. මහවැලි ගංඟා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවගේ ජල අයිතිය, භූමියට ඇති අයිතිය හා නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය අහිමි කිිරීමට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම බලය අප සියලූ දෙනාට ම ලබා දී ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික යුතුකම් කොටසේ 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ඇත. එම නිදහස හා අයිතීන් අහිමි කිරීමට රජයට හෝ ආණ්ඩුවට කිසිදු බලයක් නොමැත. එපමණක් නොව 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැුක ගැනීම ද ශී‍්‍ර ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන්නේය. ජනතාව මේ පිළිබඳ අවබෝධ කර ගැනීම ඉතා ම වැදගත් ය.



ගත යුතු කි‍්‍රයාමාර්ග

අප විශේෂයෙන් අවධාරණය කරන්නේ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තර සහ විල්ලූ කිසිදු ආකාරයකින් වාණිජ පරිහරණය සඳහා ලබා නොදී එම ඉඩම් සෝමාවතිය ජාතික වනෝද්‍යානයට හා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතයට පැවරීමට කටයුතු කර අලි - ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවගේ රැකවරණය හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කරන ලෙස ය. එමගින් මහවැලි බී කලාපය ඇතුළු ව පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ බොහෝ ප‍්‍රදේශ අලි - මිනිස් ගැටුමින් තොර කලාපයක් ලෙස සුළු ගොවීන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරමින් පවත්වාගෙන යාමට හැකි වනු ඇත.

එමගින් සුළු පරිමාණ ගොවීන්ගේ ජල අයිතිය හා ඉඩම් අයිතිය අහිමි නොකර එම ජනතාවට තම කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීමට විල්ලූ හා වනාන්තර සංරක්ෂණය කිරීමෙන් පොදු භාවිත සම්පත් වල ආරක්ෂාව තහවුරු කළ හැකි ය.

එපමණක් නොව පරිසර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ස්ථාපිත කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය ඇති කිරීම මෙන්ම ‘‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටසේ සඳහන් වන සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම, නීතිය අපක්ෂපාතීව කි‍්‍රයාත්මක කිරීම, සංවර්ධන ව්‍යාපෘති වල සංකල්පිත අදියරේ දීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීම් අනිවාර්යය කිරීම වැනි ප‍්‍රතිපත්තිමය ව්‍යුහයන් ශක්තිමත් ව කි‍්‍රයාත්මක වන යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු ය.

ලෝක බැංකු නිර්දේශ මත සුළු පරිමාණ කෘෂිකර්මය වෙනුවට වාණිජ කෘෂිකර්මය ස්ථාපිත කිරීම වැනි සුළු ගොවීන් අවතැන් කරන ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම වෙනුවට සුළු ගොවීන්ගේ ඉඩම් වල අයිතිය මත පදනම් වූ කෘෂි ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කර ශක්තිමත් ව පවත්වාගෙන යා යුතු ය. ඒ සඳහා රජයට බලපෑම් කළ යුතු අතර ම ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් ගොඩනැංවූ රජයක යුතුකම හා වගකීම වන්නේ ජනතාවගේ සුරක්ෂිතතාවය ඇති කිරීම විනා සමාගම් වල සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කිරීම නොවන බව අවධාරණය කළ යුතු ය. මේ නිසා වහා ම කන්දකාඩු හා ති‍්‍රකෝණමඩු වනාන්තර සහ විල්ලූ සමාගම් වලට ලබා දීමේ කි‍්‍රයාවලිය නතර කර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර කි‍්‍රයාවට නැංවිය යුතු ය.