පෙබරවාරි 4: නිදහස දිනා ගැනීමේ විරෝධතා දිනයක් ලෙස.

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානය වෙනුවෙන්, උපුල් කුමාර වික්‍රමසිංහ.

ශ්‍රී ලංකාවේ “නිදහස් දිනය” ලෙස ඉතිහාසගත වී ඇත්තෙත් පුරවැසියන් ලෙස වසර 70 කට ආසන්න කාලයක් අප සැමරීමට හුරු වී සිටින්නේත් පෙබරවාරි 4 වනදාය. එයට ප්‍රධාන හේතුව බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් අප නිදහස් වූයේ, වඩාත් නිවැරදිව කිවහොත් යටත්විජිතවාදීන් රටේ පාලනය මූලික වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට බාර දුන්නේ 1948 පෙබරවාරි 4 වන දින නිසාය. නිදහස පිළිබඳව විවිධ පුද්ගලයින්ට විවිධ අරුත් ඇත. මොහොතකට අප නැවතී මදක් කල්පනා කර බැලුවොත් එදා ඔය ලැබුණාය කියන නිදහස එදා සිට අද දක්වා සැබවින්ම භුක්ති විඳින්නේ සමාජයේ කවර කොටසක්ද යන්න, අප හමුවේ දිග හැරෙන සත්‍යය එතරම් සුන්දර නොවන බැව් පසක් වනු ඇත.
වඩාත් පුළුල් අර්ථයකින් ගත් කල, නිදහස යනු මනුෂ්‍ය වටිනාකම් ඔසවා තැබෙන සමාජයක තමන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය සහ ධාරිතාවය පුරවැසියන් සතු වීම ලෙස තේරුම් ගැනීම උචිත යයි අපි විශ්වාස කරමු. එවන් සමාජ වටපිටාවක සියළුම ආකාරයේ පීඩනයන්, මර්ධනයන් සහ හිංසනයන්ගෙන් මිදී සැබෑ ලෙසින්ම නිදහස් ජීවිතයක් ගත කිරීමට අපට හැකිවනු ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම ඉතා වටිනා නමුත් අධිරාජ්‍යවාදය යනු වැඩ කරන ජනතාවගේ නිදහස අහිමි කල එකම බලවේගය නොවේ, එක් බලවේගයක් පමණි.
මෙහිදී, අප මතු කරන නිදහස ‘අයිතිය’ සමඟ පමණක් නොව ‘පුද්ගල ධාරිතාවය’ සමඟ ද බැදී පවතින්නක් ලෙස වටහා ගැනීම ඉතා වැදගත්ය. මන්ද, බුර්ෂුවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල නිදහස යන්නෙන් බොහෝ විට අවධාරණය කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය, මැතිවරණ අයිතිය, තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි අයිතීන්ය. ඒවා නොවැදගත් බවක් මින් කිසිසේත් අදහස් නොවේ. නමුත් බුර්ෂුවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ‘නිදහස’ට අයත් නොවන වැදගත්ම සාධකයක් වන්නේ එම දේශපාලනික-ආර්ථික ක්‍රමය තුල සූරා කෑමට ලක්වීම නිසා අති බහුතරයක් වන වැඩකරන ජනතාවට නිදහස් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ආර්ථික හැකියාව අහිමි කරලීමයි. දැවැන්ත ජීවන වියධමට ගැලපෙන ආර්ථික ශක්තියක් ඔවුනට නොමැති වීම හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයේ නිදහස විඳිනවා වෙනුවට වැඩකරන ජනයා හුදෙක් ජීවිතය පවත්වා ගෙන යාමේ ජීවන අරගලය තුර සිර වී සිටී. එක් පසෙකින් බුර්ෂුවා ලිබරල් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පවා අහිමිව සිටින වැඩකරන ජනයා අනෙක් පසින් එම දේශපාලන-ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසම උරුම වී ඇති ආර්ථික උගුලක සිර වී ඇති මොහොතක අපට සැමරීමට ‘නිදහසක්’ තිබේද? මේ මොහොතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන වල මෑන්පවර් සේවකයින් විසින් ක්‍රියාත්මක කෙරෙන දැවැන්ත කම්කරු අරගල හරහා ප්‍රකාශමාන වන්නේ එම ආර්ථික පීඩනය නොවේද?
වත්මන් නවලිබරල්-ධනේශ්වර ක්‍රමය තුල මෙම තත්වය වඩාත් හොඳින් විශද වේ. වතමන් ආර්ථික සංවර්ධන මොඩලය යනු ‘අහිමි කිරීම මගින් ප්‍රාග්ධන සමුච්චනය’ (Accumulation by Dispossession) දිරිමත් කෙරෙන, කම්කරු, ගොවි, ධීවර වැනි සමාජයේ ආන්තික ජන කොටස් තවදුරටත් පීඩනයට පත් කෙරෙන ක්‍රමයක් බව ඩේවිඩ් හාවී වැනි චින්තකයින් විසින් මනාව පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව තුල පසුගිය දශක කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලීන් හරහා මෙම අදහස මනාව තහවුරු වේ. එලෙස “සංවර්ධනයේ” නාමයෙන් මෑත කාලීනව ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත ව්‍යාපෘතීන් හරහා අවතැන් වූ, තම සම්ප්‍රදායික ජීවන මාර්ග අහිමි වූ සහ වෙනත් සමාජ, ආර්ථික ගැටළු වලට මුහුණ පාමින් සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මොහොතේ රටේ සෑම දිශාවකින්ම සොයා ගැනීම එතරම් අසීරු නොවේ.
එමෙන්ම, නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් වල සෘජු ප්‍රතිඵලයක් ලෙස මේ මොහොතේ සියළු දේ වෙළඳ පොළ තර්කනය තුල තීරණය වෙමින් පවතී. ගෝලීයකරණය, මුල්‍යකරණය සහ පරිභෝජනවාදයේ සංකලනයක් ලෙස දිනෙන් දින පුරවැසියා ණය උගුලක සිර කෙරෙමින් පවතී. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන, ලීසිං සහ වෙනත් ණය දෙන ආයතන වල සීඝ්‍ර ව්‍යාප්තිය තුලින් ඒ බැව් මනාව තහවුරු වේ. එක පැත්තකින්, පරිභෝජනවාදය අධිපති දෘෂ්ටිවාදය බවට පත්වී ඇති වෙළඳපොල ක්‍රියාවලිය තුල මිනිසාගේ සැබෑ අවශ්‍යතාවයන්ට වඩා බොහෝ කෘතිම අවශ්‍යතාවයන් නිර්මාණය කර ඇති අතර අනෙක් පසින් එම කෘතිම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට රැකියාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම නිසා ඉහත කී ආකාරයේ ණය ක්‍රමවේද එයට “පිළිතුරක්” ලෙස වෙළඳපොල විසින්ම ඉදිරිපත් කර ඇත. මෙය සැබවින්ම විසඳුමක් නොව අර්බුදය තව දුරටත් තීව්‍ර කර වැඩ කරන ජනයා ගැලවීමක් නොමැති ආර්ථික චක්‍රයක සිර කිරීමක් පමණි.
අනෙක් අතට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වැනි ජන ජීවිතයට සෘජුවම සම්බන්ධ ක්ෂේත්‍රයන් දිනෙන් දිනම ප්‍රාග්ධනයේ ග්‍රහණයට නතු වෙමින් පවතී. කම්කරුවන්ගේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය, උද්ඝෝෂණය කිරීමේ අයිතිය පවා ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී අහෝසි කිරීමට සහ සීමා කිරීමට පාලකයින් විසින් කටයුතු කරමින් සිටී. උතුරු සහ නැගෙනහිර දශක තුනකට ආසන්න කාලයක් පැවති සන්නද්ධ අරගලය මිලිටරිමය ලෙස පරාජය කිරීමෙන් වසර 8 කට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ තාක් එයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබා දීමට පාලකයින් අසමත් වී ඇත. අඩුම තරමින් සැකපිට රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන්ට නඩු පවරා හෝ විමර්ශනයන් සිදු කර දඬුවම් දීම හෝ නිදහස් කිරීම පවා මෙතෙක් සිදු වී නොමැත. තවද යුධ සමයේ රජය සහ ආරක්‍ෂක හමුදා විසින් අත්පත් කරගත් දෙමල ජනයාගේ ඉඩම් නිසියාකාරයෙන් බෙදා දීමේ කිසිදු සුදානමක් මෙතෙක් පෙනෙන්නට නොමැත. තම අස්වැන්න නිසි පරිදි විකුණා ගැනීමේ සිට කෘෂිකර්මාන්තයට අදාළ බොහෝ ගැටළු වලින් ගොවි ජනයා දිගින් දිගටම පීඩාවට පත් වෙමින් සිටී. කොරේ පිටට මරේ කීවාක් මෙන් හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් ඔවුන් සෞඛ්‍යමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද දැවැන්ත අර්බුදයකට තල්ලු කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වකුගඩු රෝගය සාර්ථකව මර්ධනය කිරීමට බලධාරීන් අසමත් වී ඇත. එමෙන්ම, සුළුතර ලිංගික ප්‍රජාවන්ගේ නිදහස අහිමි කර ඇති අධිරාජ්‍යවාදීන්ගේ සමයේ සිට පැවත එන නීති රීතීන් වෙනස් කර ඔවුන්ගේ නිදහස තහවුරු කිරීමට පාලකයින් විසින් කිසිදු සුදානමක් නොපෙන්වයි. විටින් විට යට ගියද ආගම්වාදී සහ ජාතිවාදීන්ගේ හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන්ගෙන් තවමත් ශ්‍රී ලංකා රාජ්‍ය හෝ එහි වෙසෙන ජනයා නිදහස ලබා නොමැත.
එබැවින් පෙබරවාරී 4 වනදා සැමරීමට තරම් සැබෑ නිදහසක් ශ්‍රී ලංකාවේ සාතිශය බහුතරයකට ලැබී නොමැති බැව් අපගේ අදහසයි. නිදහස යනු බන්දේසියක තබා අපට ප්‍රදානය කරන්නක් නොව සටන් කර දිනා ගත යුත්තක් බව අපට ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ඉතිහාසයේද බොහෝ අවස්ථා වල පෙන්වා දී ඇත. එමනිසා, වැඩ කරන ජනතාවට අප යෝජනා කර සිටින්නේ, පාලකයින් විසින් අප මත බලහත්කාරයෙන් පටවා ඇති පෙබරවාරී 4 වනදාට යෙදෙන “නිදහස්” දිනය, සැබෑ නිදහස දිනා ගැනීම සංකේතවත් කරන විරෝධතා දිනයක් ලෙස සලකා ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු බවයි.