හෝමාගම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කර්මාන්තශාලාව ජන දිවිය වනසයි

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය




හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ වර්ග පස ට හා ජලය ට එක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ හානි කර තත්ත්වය උද්ගත ව තිබේ. විශේෂයෙන් ඒ ආසන්නයේ පිහිටි ගොවි පවුල් 9 ක් පමණ භාවිතා කරන අක්කර 10 ක් පමණ වන හපුරන්වෙල කුඹුරු යායට මෙම කර්මාන්තශාලාවේ බැර ලෝහ වර්ග එක් වීම හේතුවෙන් ද හානි කර බලපෑම් ඇති වෙමින් තිබේ. ජනාවාස මධ්‍යයේ, තාවකාලික ව තනා ඇති විවෘත ගොඩනැගිලිවල හා විවෘත භූමිවල ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගබඩා කරමින් කිසි`දු කම්කරු ආරක්‍ෂණ ක‍්‍රියාවලියකින් තොරව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වෙන් කිරීම, කැබලි කිරීම හා ගබඩා කිරීම සිදු කිරීම හේතුවෙන් මෙම හානි කර තත්ත්වයන් සියල්ල මතු ව තිබේ.

සුදේශ් නන්දසිරි යන අයගේ හිමිකාරීත්වය යටතේ ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන සිලෝන් වේස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම (Ceylon Waste Management (Pvt) Ltd කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ දී බලපැවැත්වෙන සියලූ නීති රීති උල්ලංඝණය කර මින් කටයුතු කර තිබේ. ගොඩනැගිලි අනුමැතිය හා පරිසර ආරක්‍ෂණ බලපත‍්‍ර ලබාගැනීමකින් තොර ව මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සිදු වේ.

නියමිත අනුමැතීන් වලින් තොරව, අවධානම්කාරී ලෙස, මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන ගිය ද ඊට එරෙහිව කිසි`දු ක‍්‍රියාමාර්ගයක් හෝමාගම ප‍්‍රාදේශීය සභාවෙන් මේ වන තුරුත් ගෙන නොමැත. බලපෑමට ලක් වූ ජනතාව විසින් වරින් වර ප‍්‍රාදේශීය සභාව මේ පිළිබඳ ව දැනුම්වත් කළ ද මෙම කර්මාන්තශාලාවෙන් ඇති වන හානි කර තත්ත්වයන් පාලනය කිරීම සඳහා කර්මාන්තශාලාවට එරෙහිව කිසි`දු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

පරිසර ආරක්‍ෂණ ක‍්‍රමවේද අනුගමනය කිරීමකින් තොරව, ඉතා ම හානි කර ලෙස බාහිර පරිසරයට අපද්‍රව්‍ය එක් කරමින්, මහජන පීඩාවන් ඇති වන ආකාරයෙන් පවත්වාගෙන යන මෙම කර්මාන්තශාලාව සඳහා පළමු ව මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවැරදි කරුණු සොයා බැලීමකින් තොර ව පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් නිකුත් කර තිබුණ ද එය මේ වන විට යාවත්කාලීන කිරීම සිදු කර නොමැත. ගොඩනැගිලි අනුමැතියකින් තොරව, විවෘත ව හා අවධානමිකාරී ලෙස, ජනාවාස මධ්‍යයේ පවත්වාගෙන යන ඉලකේට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාවක් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පළමු ව පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් නිකුත් කර ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ප‍්‍රධාන ගැටලූවකි. එසේ තිබිය දී මධ්‍යම පරිසර අධිකාරීයේ බස්නාහිර පළාත් අධ්‍යක්‍ෂ එච්. එස්. පේ‍්‍රමචන්ද්‍ර මහතා විසින් පළමු ව ලබා දුන් පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය යාවත්කාලීන කිරීමට මේ වනවිට විවිධ උත්සාහයන් දරමින් සිටී.

පසුගිය දිනවල මධ්‍යම පරිසර අධිකාරීයේ සභාපතිවරයාට කර්මාන්තශාලාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප‍්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම අධිකාරීයේ නිලධාරීන් ක්‍ෂේත‍්‍ර පරීක්‍ෂණයක් සඳහා පැමිණ තිබේ. එම නිලධාරීන් පැමිණීමට ප‍්‍රථම කර්මාන්තශාලාවේ හානි කර ලෙස රඳවා තිබූ සියලූ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කර ඇත. මේ අනුව පෙනී යන්නේ කර්මාන්තශාලා හිමිකරු හා මධ්‍යම පරිසර අධිකාරීයේ නිලධාරීන් අතර සමීප සම්බන්ධතාවයක් පවතින බව ය. මේ නිසා ඉතා ම හානි කර ලෙස පවත්වාගෙන යන මෙම කර්මාන්තශාලාවට එරෙහි ව කිසි`දු ක‍්‍රියාමාර්ගයක් මධ්‍යම පරිසර අධිකාරීයේ නිලධාරීන් ගනු නොලැබීම පුදුමයට කරුණක් නොවේ.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැුස් වීම අපට මෙන් ම ලෝකයේ බොහෝ රටවලට විශාල අභියෝගයක් වී ඇත. එය අභියෝගයක් බවට පත්වීමට ප‍්‍රධාන හේතුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි ක‍්‍රියාත්මක නොකළ හොත් ඉන් ඇති විය හැකි බලපෑම ඉහළ මට්ටමක පැවතීම ය. මෙම අපද්‍රව්‍යවල බැර ලෝහ වර්ග බොහෝමයක් අන්තර්ගතව පැවතීම ඊට ප‍්‍රධාන හේතුවයි. මේ නිසා ඉලකේට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉතා ම සූක්‍ෂම ව තාක්‍ෂණික භාවිතාවන් මත සිදු විය යුතු ය. එම අපද්‍රව්‍ය එක් රැුස් කිරීම, ගබඩා කිරීම, වෙන් කිරීම, බැර ලෝහ නිස්සාරණය හා බැහැර ලීම සිදු කළ යුතු වන්නේ ස්වාභාවික පරිසර පද්ධතිවලට, ජලයට, පසට මෙන් ම ජන දිවියට බලපෑමක් ඇති නොවන ලෙස ය. ඒ සඳහා ජන ශුන්‍ය හා ස්වාභාවික පරිසර පද්ධති ආශ‍්‍රිත නොවන ප‍්‍රදේශ තෝරාගත යුතු ය. එසේ තෝරාගත් ප‍්‍රදේශ තුළ ද නිවැරදි තාක්‍ෂණික ක‍්‍රම අනුගමනය කරමින් නිවැරදි ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කළ යුතු ය. එසේ නොමැති වුවහොත් මෙම අපද්‍රව්‍ය වල අන්තර්ගත බැර ලෝහ වන ඊයම්, රසදිය, කැඞ්මියම්, බේරියම්, ක්‍රෝමියම්, ලිතියම්, ආසනික්, නිකල් වැනි මූලද්‍රව්‍ය වලට අමතර ව පැලෝඩියම්, රෝඩියම්, සිල්වර් වැනි මූලද්‍රව්‍ය ද පසට හා ජලයට එක් වේ. එවැනි මූලද්‍රව්‍ය වලින් සාන්ද්‍ර පසේ වැඩෙන ආහාර බෝග මගින් මෙන් ම එම මූලද්‍රව්‍ය වලින් දුෂිත ජලය පානය කිරීමෙන් ඍජුව ම මෙම හානි කර මූලද්‍රව්‍ය මනුෂ්‍ය ශරීරයට එක් වේ. එසේ එක් වන බැර ලෝහ ශරීරයේ විවිධ අවයව ආශ‍්‍රිත ව සාන්ද්‍රගත වීමෙන් මනුෂ්‍ය ශරීරයට හානි කර බලපෑම් ඇති වේ.

බැර ලෝහ ලෙස සැලකෙන ඊයම් ශරීරගත වීමෙන් මොළය හා වකුගඩු වලට හානි සිදුවන අතර ජන්මානු ෙසෙල වලට හානි සිදුවීමෙන් උපත් ආබාධ හා විකෘති දරු උපත් ඇති වේ. ඉලෙක්ට්‍රොනික උපාංග වන බැටරි, පරිගණක තිර, රූපවාහිනී යන්ත‍්‍රවල මේවා බහුල ව අන්තර්ගත ව ඇත. මේවා අපද්‍රව්‍ය ලෙස ඉවත් කළ විට දිරාපත් වීමේ ක‍්‍රියාවලියේ දී පසට හා ජලයට ඊයම් එක් වේ. රසදිය බහුල ව අන්තර්ගත වන්නේ සී. එෆ්. එල්. බල්බ, රූපවාහිනී හා ශීතකරන යන්ත‍්‍ර, ඇල්කලයින් බැටරි, ප‍්‍රතිදීප්ත පහන් හා එල්. සී. ඞී. තිරවල ය. බැර ලෝහයක් වන රසදිය මෙම උපාංග භාවිතයෙන් ඉවත් කළ පසුව දිරාපත් වීමේ දී පසට හා ජලයට එක් වේ. මේවා මනුෂ්‍ය ශරීරයට එක් වූ විට මොළය, හදවත, අක්මාව, පෙනහළු, ප්ලීහාව, වකුගඩු යන ඉන්ද්‍රියන් වලට හානි කර බලපෑම් ඇති කර ආබාධිත තත්ත්වයන් ඇති කරයි.

බැර ලෝහයක් වන කැඞ්මියම් ශරීරයට ඇතුළු වූ විට ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියන් වලට අමතර ව ස්නායු පද්ධතියට හා ප‍්‍රජනනේන්ද්‍රීය පද්ධතියට මෙන් ම විශේෂයෙන් ම අස්ථි පද්ධතියට හානි කර බලපෑම් ඇති කරයි. පරිගණක තිර, රූපවාහිිනි තිර, ආරෝපිත බැටරි, ෆොටෝකොපි යන්ත‍්‍රවල කැඞ්මියම් අන්තර්ගත වේ. මීට අමතර ව එල්.ඊ.ඞී. බල්බවල ආසනික්, ආරෝපිත ලිතියම් බැටරිවල ලිතියම් වැනි බැර ලෝහ අන්තර්ගත වන අතර ඒවා භාවිතයෙන් පසු බාහිර පරිසරයට බැහැර කළ පසු වියෝජනයේ දී මෙම මූලද්‍රව්‍ය පස ට මෙන් ම ජලයට ද එක් වේ. ඒවා ශරීරගත වූ විට සමස්ත මනුෂ්‍ය ශරීරයට ඇති කරන සෞඛ්‍ය බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතී.

මෙවන් තත්ත්වයන් පිළිබඳ අවබෝධයකින් තොරව මධ්‍යම පරිසර අධිකාරිය, හෝමාගම ප‍්‍රාදේශීය සභාව හා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 603 බී, කිතුලාවිල ග‍්‍රාම නිලධාරී වසමේ ජනාවාස මධ්‍යයේ ගොඩපරගහහේන ප‍්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමට සහයෝගය ලබා දී ඇත. මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ දී මහජන පීඩාකාරී තත්ත්වයන් බොහොමයක් උද්ගත වුව ද ඒ තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා කිසි`දු ආකාරයක මැදිහත් වීමක් රාජ්‍ය ආයතන වලින් සිදු කර නොමැත. අවට ජනතාවට සිදු වී ඇත්තේ මෙම කර්මාන්තශාලාවේ සෞඛ්‍ය ඇතුළු මහජන පීඩාවන්ට ගොදුරු ව ජීවත් වීමට ය. නමුත් ඒ තත්ත්වය පාලනය කිරීමට නීති රීති ගණනාවක් පැවැතිය ද ඒ පිළිබඳව අවධානයකින් තොර ව රාජ්‍ය ආයතන කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23අ, 23ආ සහ 32 වගන්ති අනුව ප‍්‍රකාශිත 2008 පෙබරවාරී 01 වන දින අංක 1534/18 දරන ගැසට් නිවේදනයට අනුව විදුලි හා විද්‍යුත් උපකරණ වලට අදාළ අපද්‍රව්‍ය විමෝචනය හෝ බැහැර කිරීම හෝ කළමනාකරණය කිරීම සඳහා ‘‘පරිසර ආරක්‍ෂණ බලපත‍්‍ර’’ ලබා ගත යුතු ය. එසේ ලබා ගත් වලංගු බලපත‍්‍රයකින් තොර ව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැුස් කිරීම, පිරිසැකසීම, වෙන් කිරීම, ගබඩා කිරීම, ප‍්‍රවාහනය කිරීම, නිෂ්කර්ෂණය කිරීම, ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම හෝ බැහැර කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි.

එහෙත් ජාතික පාරිසරික පනත ක‍්‍රියාවේ යොදවන මධ්‍යම පරිසර අධිකාරිය පළමු ව මෙම කර්මාන්තය සඳහා පරිසර ආරක්‍ෂණ බලපත‍්‍ර නිකුත් කර ඇත්තේ එම ස්ථානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට නොගෙන ය. ඊට අමතර ව මහජන පීඩාකාරී තත්ත්වයන් මෙම කර්මාන්තය හේතුවෙන් උද්ගත වන විට ද ඒ සඳහා මැදිහත් ව එම තත්ත්වයන් පාලනය කිරීමට හෝ මැඩපැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන නොමැත. ඒ වෙනුවට උත්සහ දරන්නේ මෙම කර්මාන්තශාලාවට ලබා දී තිබු පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය නැවත වරක් යාවත්කාලීන කිරීමට ය. එය යාවත්කාලීන කිරීමට ප‍්‍රථම මෙම කර්මාන්තශාලාවෙන්් බාහිර පරිසරයට එක් වී ඇති බැර ලෝහ වර්ගවල සාන්ද්‍රණය පිළිබඳව හෝ පරීක්‍ෂණයක් සිදු කර නොමැත. ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 2008 පෙබරවාරි 01 වැනි දින දරන ගැසට් නිවේදනයේ මෙවන් කර්මාන්තශාලාවකින් බාහිර පරිසරයට එක් කළ හැකි බැර ලෝහවල ධාරිතාවය සඳහන් කර ඇත. නමුත් අවට ජනතාව විසින් ස්වාධීන ආයතනයකින් සිදු කරන ලද ජල පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම ධාරිතාවට වඩා වැඩි ප‍්‍රමාණයක් බැර ලෝහ මෙම කර්මාන්තශාලාව අවට භූගත ජලයේ අන්තර්ගත වන බව ය. මේ පිළිබඳව කිසි`දු අවධානයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ගෙන නොමැති වීම පුදුමයට කරුණකි. මේ ආකාරයෙන් රාජ්‍ය ආයතන කි‍්‍රයාත්මක වීමෙන් පෙනී යන්නේ මෙම ආයතන පිහිටුවීමෙන් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල ජනතාවට නොලැබෙන බව ය.

යාවත්කාලීන නොකළ බලපත‍්‍රයක් යටතේ මහජන පීඩාකාරී තත්ත්වයන්, සෞඛ්‍ය තර්ජන හා අවධානම්කාරී තත්ත්වයන් මතු වන පරිදි කර්මාන්තයක් පවත්වාගෙන යාමට කිසි`දු නෛතික හැකියාවක් සමාගමකට නොමැත. දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වගන්තියට අනුව මහජනතාවට පොදු පීඩාවක්, අන්තරායක් හෝ අප‍්‍රසන්නතාවයක් ඇති කිරීම හෝ එබ`දු නීති විරෝධී නොකර හැරීමකට වරදකරුවකු වන තැනැත්තෙක් හෝ ආයතනයක් මහජන කරදරයක් සිදු කරන තැනැත්තෙකු හෝ ආයතනයක් බවට පත් වන බව ය. එවන් මහජන පීඩාකාරී ක‍්‍රියාවක නිරත වීම පහසුවක් හෝ වාසියක් වේ ය යන්න නිදහසට කරුණක් නොවන බව ද මෙහි දැක් වේ. ඒ අනුව සිලෝන් වේස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම ඉලකේට්‍රොන්ක අපද්‍රව්‍ය කළමනාකරණය වැනි ඉතා ම වැදගත් කර්මාන්තයක් පවත්වාගෙන ගිය ද ඒ මගින් මහජන පීඩාවක් මතුවන්නේ නම් එය එම හානි කර තත්ත්වය සාධාරණීකරණය කිරීමට හේතුවක් නොවන බව තහවුරු වේ.

1939 අංක 61 දරන හා 1946 අංක 57 දරන පනතින් සංශෝධිත පීඩන ක‍්‍රියා ආඥා පනතේ 2(10) වගන්තියට අනුව බලපත‍්‍ර නොමැතිව කර්මාන්තශාලා පවත්වාගෙන යාම නීති විරෝධී වේ. පනතේ 5 වන වගන්තියට අනුව බලපත‍්‍රයක් නොමැති මහජන සෞඛ්‍යයට බාධා වන ආකාරයෙන් කර්මාන්තයක් පවත්වාගෙන යාම නොකළ යුතු වේ. ඒ අනුව පීඩන ක‍්‍රියා ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සිදු කරයි.

බලපත‍්‍රයක් නොමැතිව මහජන පීඩාකාරී තත්ත්වයන් ඇති වන පරිදි මේ ආකාරයෙන් කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනතට අනුව පොලිසියට ඇත. මෙම පනතේ 98(ආ) වගන්තියට අනුව යම් කර්මාන්තයක් පවත්වාගෙන යාම හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍යයට හෝ කායික සුවයට යම් හානියක් වේ නම් එය මැඩ පැවැත්වීමට හෝ ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණයට බලය ඇත. මෙම පනතේ 104 වන වගන්තියට අනුව නඩු කටයුත්තක් අවසන් වනතුරු එවන් හානි කර කර්මාන්තයක් පවත්වාගෙන යාම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ බලය මහේස්ත‍්‍රාත්වරයෙකුට ඇත. එපමණක් නොව මෙම පනතේ 105 වන වගන්තියට අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වගන්තිය යටතේ අර්ථකථනය කර ඇති මහජන පීඩාවක් නැවත නොකරන ලෙස ට හෝ දිගට ම නොකරන ලෙස ට ආඥාවක් නිකුත් කිරීමේ බලය ද මහේස්ත‍්‍රාත්වරයෙකුට ඇත. එවන් තත්ත්වයක් පවතිද් දී මධ්‍යම පරිසර අධිකාරිය, හෝමාගම ප‍්‍රාදේශීය සභාව හා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය මෙම හානි කර කර්මාන්තය බාධාවකින් තොර ව පවත්වාගෙන යාමට ඉඩ දී බලා සිටීමෙන් පෙනී යන්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු රාජ්‍ය ආයතන වල සැබෑ කි‍්‍රයාකාරීත්වයේ ස්වභාවය යි. මේ තත්ත්වය වෙනස් කිරීමට ජනතාව බලපෑම් කළ යුතු ය.

මෙම හැනි කර කර්මාන්තශාලාවට එරෙහිව තීන්දු තීරණ ගැනීමේ සෘජු හැකියාව හෝමාගම ප‍්‍රාදේශීය සභාවට ඇත. 1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනතේ 100 වන වගන්තියට අනුව ජනතාවට සිදු වන පීඩාවන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමේ බලය ප‍්‍රාදේශීය සභාව සතු ය. එපමණක් නොව මෙම පනතේ 106 වන වගන්තියට අනුව යම් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් තුළ යම් කර්මාන්තයක් පවත්වාගෙන යාමේ දී අවට ජනතාවගේ සෞඛ්‍යයට අන්තරායක් නැතහොත් හානියක් සිදු වන පරිද්දෙන් පවත්වාගෙන යනු ලබන්නේ නම් එම තැනැත්තා වරදකරුවකු කිරීමේ හැකියාව ද ඇත. මෙම පනතේ 78(2* වගන්තියට අනුව මහජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් වන ආකාරයෙන් යම් කර්මාන්තයක් සිදු කරන්නේ නම් ඒ සඳහා ප‍්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ උපදෙස් මත කටයුතු කිරීමේ හැකියාව ද ඇත. එපමණක් නොව 107(2) වගන්තියට අනුව කර්මාන්තයක් පවත්වාගෙන යාමේ දී රසායනික ද්‍රව්‍ය පිට කිරීම නිසා සිදු වන පරිසර ¥ෂණය හේතුවෙන් මහජන සෞඛ්‍යයට, ආරක්‍ෂාවට හෝ සුබසිද්ධියට පමණක් නොව පරිසරයේ වෙනත් පද්ධතීන්වල පැවැත්මට බලපෑමක් සිදු කිරීම ද හානි කර ක‍්‍රියාවක් ලෙස සැලකේ.

ප‍්‍රාදේශීය සභා පනතේ 78(1) වගන්තියට අනුව මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමේ කාර්ය සඳහා වූ පොදු පරිපාලන අධිකාරිය ප‍්‍රාදේශීය සභාව විය යුතු වන අතර ඒ අනුව යම් ලිඛිත නීතියකින් පවරා ඇති පොදු බලතල ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමේ බලය ප‍්‍රාදේශීය සභාවට ඇත. එපමණක් නොව පීඩන ක‍්‍රියා ආඥා පනතේ බලතල ක‍්‍රියාත්මක කිරීමේ හිමිකම ද ප‍්‍රාදේශීය සභාවට ඇත. මෙවන් නීති රීති ගණනාවක් ප‍්‍රාදේශීය සභාව සතු වුව ද මෙම හානි කර කර්මාන්තශාලාවට එරෙහිව කිසි`දු කි‍්‍රයාමාර්ගයක් මේ වනතුරුත් හෝමාගම ප‍්‍රාදේශීය සභාව විසින් ගෙන නොමැති වීම පුදුමයට කරුණකි. ඒ අනුව පැහැදිලි වන්නේ ප‍්‍රාදේශිය සභාවේ නිලධාරීන් හා කර්මාන්තශාලා හිමිකරු අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බව යි.

මේ නිසා සිදු වී ඇත්තේ මෙම කර්මාන්තශාලාව අවට ජීවත් වන ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවීම ය. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1) (ඌ) උප ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියෙකුට ම අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස තිබිය යුතු ය. එම නිදහසට බාධා කිරීමට කිසි`දු කර්මාන්තශාලා හිමිකරුවෙකුට අයිතියක් නැත. එසේ නිදහසේ ජීවත් වීමට බාධාවන කර්මාන්ත පවත්වාගෙන යාමේ නිදහස ද කිසි`දු පුද්ගලයෙකුට හිමි නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසර ආරක්ෂා කොට සුරක්‍ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව ස`දහන් වේ. ඒ අනුව පරිසරයට, ජන දිවියට බලපෑම් වන ආකාරයෙන් ක‍්‍රියාත්මක වන සියලූ කර්මාන්ත පාලනය කිරීමට ක‍්‍රියාත්මක වීමේ බලය රාජ්‍ය ආයතනවලට ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ප‍්‍රාදේශීය සභාව තම බලතල ක‍්‍රියාක්මක කර පරිසර සුරක්‍ෂිතතාව ඇති කිිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ගවල නිරත විය යුතු ය. එසේ නොමැතිව කර්මාන්තශාලා හිමිකරුවන්ට රිසි සේ පරිසරය හා ජන දිවියට බලපෑම් වන ආකාරයෙන් ක‍්‍රියාකිරීමට ඉඩ දී බලා සිටිය නොහැකි ය. එසේ වන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28(ඊ) උප ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි ස්වභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැුක ගැනීමට අපගේ යුතුකම ක‍්‍රියාක්මක කළ යුතු ය. එම යුතුකම ඉටුකිරීමට බාධා කිරීමට කිසි`දු පුද්ගලයෙකුට හෝ රජයකට අයිතියක් නොමැත.

මෙවන් නීතිමය තත්ත්වයන් බහුතරයක් පවතිත් දී ඒ සියල්ල උල්ලංඝණය කරමින් මහජනතාවගේ සෞඛ්‍යයට, නිදහස් ජන දිවියට, පානීය ජලයට බලපෑම් එල්ල කරමින් පවත්වාගෙන යන කර්මාන්තශාලාවට එරෙහිව නිවැරදි ක‍්‍රියාමාර්ගයක් මෙතෙක්් කිසි`දු රාජ්‍ය ආයතනයක් ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) උප ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා නීතිය ක‍්‍රියාත්මක කිරීම, නීතියේ රැුකවරණය සර්ව සාධාරණ විය යුතු ය යන්න මෙම කර්මාන්තශාලාව අවට ජනතාවට අහිමි වී ඇත. ඒ අනුව මෙම ජනතාවගේ මුලික අයිතිිවාසිකම් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට ඉඩදීම තුළින් මධ්‍යම පරිසර අධිකාරිය, හෝමාගම ප‍්‍රාදේශීය සභාව හා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ජනතාවට අහිමි කර ඇත. අණ පනත් ගණනාවකින් පවරා ඇති බලතල මෙම රාජ්‍ය ආයතන හා පළාත් පාලන ආයතන කි‍්‍රයාත්මක නොකිරීමෙන් පෙනී යන්නේ නීතියේ රැුකවරණයේ සර්ව සාධාරණත්වය මෙම කර්මාන්තශාලාව අවට ජනතාවට අහිමි වී ඇති බව ය.

මේ නිසා අප විසින් මෙම රාජ්‍ය ආයතන වලට කරුණු කිහිපයක් අවධාරණය කරමු. පළමු ව මෙම හානි කර කර්මාන්තශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට හා සුදුසු ස්ථානයක නිවැරදි ලෙස ස්ථාපිත කිරීම ස`දහා පියවර ගත යුතු ය. ඒ අතරතුර ලංකාවේ මෙවන් කර්මාන්තශාලා ස්ථාපිත කිරීමේ දී අනුගමනය කළ යුතු කි‍්‍රයා පටිපාටිය, ජනාවාස වල සිට මෙවන් කර්මාන්තශාලා ස්ථාපිත කළ යුතු දුර ප‍්‍රමාණය ඇතුළු නිර්ණායක ගැසට් පත‍්‍රයක් යටතේ ප‍්‍රකාශයට පත් කළ යුතු ය. අවසන් වශයෙන් අප රටට ගැලපෙන කර්මාන්ත ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර ඒ මගින් කර්මාන්තශාලා වලින් ජනතාවට එල්ල වන මහජන පීඩාවන් වැළැක්වීමට පියවර ගත යුතු ය. මේ සියලූ කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කරණ අතරතුර රටේ යහපාලනය ස්ථාපිත කර නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම හා රාජ්‍ය ආයතන අපශ්‍යපාතී ලෙස කි‍්‍රයාත්මක වන ජනතාවට වගකියන යාන්ත‍්‍රණයක් ගොඩනැංවිය යුතු ය.

කර්මාන්තශාලාවේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය හානි කර ලෙස රඳවා ඇති ආකාරය