පළාත් පාලන මැතිවරණය සහ ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ස්ථාවරය

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය



ඔබේ ගමේ, ඔබේ ප‍්‍රදේශයේ පවතින බොහෝ ප‍්‍රජා ගැටලූවලට මැදිහත්විය හැකි පළාත් පාලන මැතිවරණය ඔබ හමුවට පැමිණ තිබෙනවා. එම මැතිවරණය සඳහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් මහනගර සභා, නගර සභා හෝ ප‍්‍රාදේශීය සභා සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අපේක්ෂක අපේක්ෂිකාවන් ඉදිරිපත් වී සිටිනවා. එමෙන්ම ජන්ද දායකයින් ලෙස ද අදාළ දිනයේ දී තමාගේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඔබ සුදානම්ව ඇතැයි සිතනවා.
මෙවර මැතිවරණය ප‍්‍රධාන කරුණු දෙකක් නිසා ඉතා වැදගත් යැයි අප සිතන්නෙමු. එනම් මනාප ක‍්‍රමය නැති කොට්ඨාශයට වගකියන මන්ත‍්‍රීවරයකු හෝ මන්ත‍්‍රීවරියකු පත්කර ගැනීමට හැකි වීම හා 25% ක කාන්තා නියෝජනයක් ඇතුළත් කර තිබීමයි. මෙය ඉතා සුවිශේෂි තත්ත්වයකි.
මෙම මැතිවරණය තුළින් ජාතික දේශපාලනයේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට සෘජු බලපෑමක් කළ නොහැකි බව ඇත්තය. නමුත් අප විශ්වාස කරනුයේ මේ මැතිවරණය එදිනෙදා ජීවිතය කෙරෙහි සෘජු ව බලපාන බවයි. ජනතාවගේ අනාගතය වෙනුවෙන් ඔවුන් සමඟ හිඳීිමින්, ඔවුුන්ගේ බදු හා වෙනත් දායක මුදල් රැස්කරමින් ජනතාවට සමීප වීමට මෙම මැතිවරණ තුළින් තේරී පත්වන නියෝජිතයන්ට හැකියාව ලැබේ.

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ දැක්ම

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ දේශපාලන ස්ථාවරය වන්නේ බලය ඉල්ලා නොසිටින, බලය සඳහා තරඟ නොවදින, සමානාත්මතාව සහිත සංවිධාන ව්‍යුහයක් පවත්වාගෙන යාමයි. පවත්නා ආර්ථික හා සංවර්ධන මූලෝපායන් හේතුවෙන් ව්‍යසනයට පත්වන ආන්තික ජන කොටස් බලගැන්වීමේ, සංවිධානය කිරීමේ මෙහෙවරක අපි නිරතව සිටින්නෙමු. පවත්නා ක‍්‍රමයම නොවෙනස්ව, අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා පවත්වනු ලබන මැතිවරණ ක‍්‍රියාකාරිත්වයන් ජනතාවගේ සැබෑ වුවමනා වෙනුවෙන් කටයුතු නොකරයි. එබැවින් අප ව්‍යාපාරය කටයුතු කරන්නේ මැතිවරණය ජනතාවගේ සැබෑ වුවමනා වෙනුවෙන් කටයුතු කරන්නක් බවට පත් කරගැනීමට අවශ්‍ය මැදිහත්වීම් ලබා දීමට ය.
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ ජනතාවට බලයක් එන, ජනතාව සමඟ සැලසුම් කරන, ඔවුන්ගේ අපේක්ෂා මල් ඵල ගන්වන, ජනතාවට වග කියන බල ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා සීමිත භූමි ප‍්‍රමාණයක, සීමිත ජනකොටසක් සමඟ වැඩ කටයුතු කිරීමට සකසා ඇති පළාත් පාලන ආයතන මහඟු පිටුවහලක් කරගත හැකි ය.

සිදුවෙමින් පවතින්නේ කුමක්ද ?

දේශපාලනය යනු රටේ පවතින පාලනය කෙරෙහි ඇති කරන බලපෑමයි. රටේ පාලනය කෙරෙහි බලපෑම සඳහා රටේ දේශපාලන බලය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ඇත්තෙන්ම රටේ පාලනය කෙරෙහි බලපෑම සාමාන්‍ය ජනතාව සතු අයිතියක් මෙන් ම වගකීමක් ද වේ. දැනට සිදුවන්නේ පාලනය කෙරෙහි බලපෑම සඳහා මහජනතාව විසින් තම නියෝජිතයින් ඡන්දයෙන් පත්කරගැනීමයි. එසේ පත්කරගනු ලබන නියෝජිතයින් මහජනතාවගේ ඉල්ලීම් හා යෝජනා සම්බන්ධව රටේ පාලනයට බලපානු ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් බෙහෙවින් සිදුවන්නේ එය නොවේ. බලය ලබාගන්නා තුරු මහජනතාවට පොරොන්දු දීම හා මහජන කැමැත්තට අනුව කටයුතු කරන බව පෙන්වීම සිදුවන නමුදු, බලය ලබාගත් පසුව එම පොරොන්දු ඉටුකිරීම හෝ මහජන ඉල්ලීම් හා අවශ්‍යතා වලට සංවේදී වීම සිදුනොවන තරම් ය. එබැවින් මහජනතාව තම දේශපාලන ශක්තිය පාවිච්චි කරනුයේ යම් පක්‍ෂයක් බලයට පත්කරගැනීමට පමණි. ඒ පක්‍ෂය බලයට පත්වූ දා සිට මහජනයාට එම පක්‍ෂය කෙරෙහි ඇති බලපෑම අවසන් වේ. එතැන් සිට සිදුවන්නේ මහජනතාවට, එනම් ඡන්ද දායකයින්ට තමන් බලයට පත් කළ පාලනයට යටත්ව, අවනතව සිටීමට ය. බලයට පත්වු අයට පාලනය කරන කාලය තුළ මහජනතාවට වගකියන ආකාරය ගැන ප‍්‍රශ්න කිරීමට තැනක් නැත. ඔවුන් වගනොකියන්නේ නම් ඒ ගැන උත්තර බැඳීමට පත්වු නියෝජතයින් බැඳී නැත. මේ තත්ත්වය නිසා බලය ලබාගත් අයට හා ඒ අයගේ ආණ්ඩුවට දුෂණය වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ තත්ත්වය නිසා අද පවතින බොහෝ පාලනයන් බලය ලබාගැනීම සඳහා එකක් කියයි. බලය ලබාගත් පසුව ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරති. ඊළඟ මැතිවරණයේ දී යළිත් බලය ලබාගැනීම සඳහා තව බොරු පොරොන්දු රාශියක් දෙති.

අද අවශ්‍ය දේශපාලනය කුමක්ද?

මේ අනුව අද අවශ්‍යව ඇති දේශපාලනය කුමක්ද? යන්න සිතා බලමු. ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ යනුවෙන් අර්ථ දක්වනු ලබන්නේ ‘‘මහජනතාව විසින්, මහජනතාව සඳහා පවත්වාගෙන යනු ලබන මහජන පාලනයක්’’ ලෙසයි. අද අවශ්‍යව ඇත්තේ සැබවින්ම එබඳු පාලනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය දේශපාලනයකි. එබඳු පාලනයක් ඇති කිරීම සඳහා මහජනතාව කුමක් කළ යුතු ද? ප‍්‍රථමයෙන්ම අවශ්‍ය වන්නේ තම සුබසිද්ධිය සඳහාත්, සාධාරණය සඳහාත් අවශ්‍ය මොනවාද? යන්න වටහාගැනීමයි. සියල්ලන්ට ආහාර, නිරෝගීභාවය, ඉදුම් හිටුම් හෙවත් නිවාස, ඇඳුම් පැලඳුම් අවශ්‍යය, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් අවශ්‍යය, ඔවුන් වැඩිහිටි වු පසු හොඳ ජීවන මාර්ග අවශ්‍ය ය. මේ සඳහා පොළොව, ජලය හා පරිසරය හැඩගස්වාගැනීම අවශ්‍යය, ගෞරවයෙන් සලකනු ලැබීම අවශ්‍යය, තෘප්තිමත් ජීවිතයක් අවශ්‍ය ය. මේ සියල්ල සඳහා මනා ගමනාගමන පහසුකම්, සන්නිවේදන පහසුකම්, තොරතුරැ දැනගැනීමේ අයිතිය, යහපත් ජනමාධ්‍ය ආදිය තිබිය යුතු ය. එනම් ‘‘නිදහස’’ තිබිය යුතුය, මනා ජාත්‍යන්තර සබඳතා අවශ්‍යය, අපරාධ හා දුෂණ වලින් තොර විය යුතු ය. මේ සියල්ල පවතින පාලනය ලවා ඉටුකරවා ගැනීමටත්, තමන් විසින්ම කළයුතු දේ හා කළහැකි දේ විධිමත්ව කිරීමටත් මහජනතාව සමත් විය යුතු ය. ජනවාර්ගික කණ්ඩායම් අතර, විවිධ ආගමික පිරිස් අතර, සාධාරණත්වය හා සාමය පැවතිය යුතු ය. ස්ත‍්‍රි පුරුෂ සම සාධාරණත්වය තිබිය යුතු ය.
මේ සියලූ කරුණු පාලන ව්‍යූහයකින්, උපරීම ලෙස ඉටුකරවාගැනීම සඳහා ඒවා ප‍්‍රතිපත්ති ලෙස හැඩගැස්විය යුතු ය. එම ප‍්‍රතිපත්ති සැලසුම් බවට පත් කරගත යුතු ය. එම ප‍්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය මහජනතාව විසින්ම කළ යුතු ය. එම ප‍්‍රතිපත්ති බලය ඉල්ලා සිටින්නන් වෙත ඉදිරිපත් කිරීමටත්, බලය ඉල්ලා සිටින පක්‍ෂවල ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළට ඒවා ඇතුළත් කරගැනීමටත්, ඒවා පිළිබඳ පොරොන්දු ලබාගැනීමටත් ක‍්‍රම සකසා ගත යුතු ය. ඒවා ඉටුකරවා ගැනීමට සංවිධානගත වීම මහජනතාව විසින් කළ යුතු ය. දැනට සිදුවන්නේ බලය ඉල්ලා සිටින දේශපාලන පක්‍ෂ විසින් ඉහත කී මහජන ඉල්ලීම් සපුරා දෙන බවට පොරොන්දු දීම ය. එය ද අද එතරම් දුරට සිදු නොවේ. බලය ලබාගත් පසුව ඒවා ඉටුකරන බවට විශ්වාසය තැබිය හැකි කිසිඳු සැලැස්මක් බොහෝ දේශපාලන පක්‍ෂවලට නොමැත. එසේ තිබුනත් ඒවා ව්‍යාජ සැලසුම් මිස අවංකව ඉටුකරණ සැලසුම් නොවේ. සැලසුම් කිරීම මහජනතාවට අයිති කාර්යයක් ලෙස නොසැලකෙන තරම් ය. මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවක් බලයට පත්වු පසුව ක‍්‍රියාත්මක කළයුතු සැලසුම් සකස් කෙරෙන්නේ වෙනත් බලවේගයන් විසිනි.

සැලසුම් හදන වෙනත් බලවේගයන්

බොහෝදුරට ආණ්ඩුවල සැලසුම් හැදෙන්නේ එක්කෝ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණය දෙන රටවල් හා ඔවුන්ගේ නියෝජිතයින් ලෙස කටයුතු කරන මහ බැංකුව, මහ භාණ්ඩාගාරය, අමාත්‍යාංශවල ස්ථිර ලේකම්වරු ආදී ඉහත කී මූල්‍ය ආයතනවල හෙංචයියලා අතිනි. නැතිනම් බොහෝවිට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප‍්‍රජාව අතිනි. ආණ්ඩුව ණයගැති වී සිටින නිසාත්, එම ණය නැවත නැවතත් ලබාගැනීමෙන් තොරව අයවැය පියවිය නොහැකි නිසාත් මෙය වැලැක්විය නොහැකි තත්ත්වයක් යැයි ඇතැම් අය කියති. එහෙත් මේ ණයගැතිභාවය අඩුකර ගැනීම සඳහා හෝ ණයෙන් නිදහස් වීම සඳහාත්, ජනතාවගේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහාත් කිසිඳු උත්සාහයක් නොදැරේ. එබැවින් වැඩියෙන් ණය ගැනීමට කිසිදු පැකිලීමක් නැත. ඊට හේතුව ණයගන්නේ එක් පිරිසකි. ඒ බලය දරා සිටින පිරිසයි. ණය ආපසු ගෙවීමේ බර දරන්නේ තවත් පිරිසකි. ඒ සාමාන්‍ය රටවැසියායි. ණය ලබාගන්නා අයට මෙය වාසිිදායක ය. ඒ, එසේ ලබාගන්නා මුදල් වලින් විශාල කොමිස් ලබාගැනීමට ඔවුනට හැකි නිසා ය. ණය දෙන අයට ද එය වාසිදායක ය, ඒ ඔවුනට උවමනා දේ එම ණය මුදල් වලින් නිමකරවා ගැනීමට හැකි නිසා ය. මේ ණය ගැනීම අවාසිදායක වන්නේ සාමාන්‍ය මහජනතාවට ය. ඒ, එම ණය ගෙවීමේ බර ඔවුන් මත පැටවෙන නිසා ය. ඒ සියල්ල නිසා ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස, ගමනාගමනය, ඉන්ධන, විදුලිය, දුරකතන මේ ආදී සියල්ලෙහි මිල ඉහළ යයි. ණය දෙන්නෝ අයවැය පරතරය අඩුකරන ලෙස කියති. එහෙත් අයවැය පරතරය විශාල කෙරෙන වැය වැඩි කිරීම ගැන ඔවුන්ගේ අකමැත්තක් නැත. අය වැඩි කරගැනීම සඳහා දුප්පතුන් මත බදු බර වැඩිකරන ලෙස ඔවුහු උපදෙස් දෙති. ණය ගැනීම සඳහා එම උපදෙස් පිළිපැදිය යුතු හෙයින් ඒවා ණය කොන්දේසි හා නියෝග බවට පත්වේ.
මෙබදු තත්ත්වයක් තුළ මහජනතාව පාලනය බාරගත යුතු නැත. අද පවතින මෙම තත්ත්වය තුළ පාලනය බාරගන්නා කුමන හෝ පක්‍ෂයකට මේ සියල්ලට අවනත වීමට සිදුවේ. නොඑසේ නම් අවනත නොවීමට ජනතාව සංවිධානය කළ යුතු වේ. අද නිවැරදි දේශපාලන පක්‍ෂයක් විසින් කළ යුත්තේ එසේ අවනත නොවීමට ජනතාව සංවිධාන ගත කිරීමයි. ඒ සඳහා පාලනය බාරගත යුතුම නැත. ඇත්තෙන්ම පාලනය බාරගැනීම මෙය සිදු කිරීමට විශාල බාධකයකි.
ඉහත කෙටි පැහැදිලි කිරීම, මෙම පළාත් පාලන මැතිවරණයට පමණක් විශේෂිත වූවක් නොව පවත්වනු ලබන ඕනෑම මැතිවරණයක් උදෙසා වළංගු අප ව්‍යාපාරයේ දේශපාලන ස්ථාවරය වන්නේ ය.
පසුගිය කාලයේ ජනතාව පීඩාවට පත්කළ, මානව හිමිකම් නොසලකා හැරී, අයිතිවාසිකම් රැකගැනීම සඳහා වූ මැදිහත්වීම් මර්දනය කළ, ජාතීන් අතර වෛරය පෝෂණය කළ, ස්ත‍්‍රි දුෂකයන් ආරක්‍ෂා කළ කණ්ඩායමක් පමණක් තීන්දු තීරණ ගෙන පාලනය කළ යුගයක අත්දැකීම ඔබ අප සියල්ලන් සතුවිය. එම අත්තනෝමතික, ජන විරෝධී පාලන ක‍්‍රමයක් අවසන් කිරීම සඳහා ඊට පටහැනිව තීරණාත්මක දේශපාලනික මැදිහත්වීම් වල පසුගිය කාලයේ අපි නිරතවූවෙමු. එම අවස්ථාවේදී පවා නිවරැදි දේශපාලන ස්ථාවරයක හිදිමින් වෙනසක් අවශ්‍යය, එය සිදු විය යුත්තේ පුළුල් ප‍්‍රතිසංස්කරණයකින් පමණක් බව තරයේ විශ්වාස කරමින් දිගින් දිගටම ප‍්‍රතිපත්ති වෙනසක් වෙනුවෙන් පෙනී සිටියෙමු. එම නිසාම අප ව්‍යාපාරයට කෙටි කාලයක් තුළ ජනතා අරගලයන් හා සම්බන්ධ වීමට හැකි විය. අපි එම මාර්ගයයේ තව දුරටත් ගමන් කරමින් සිටින්නෙමු.

ජනතා සැලසුම් සංසද ගොඩනැගීම

ජනතාව සංවිධානය කිරීම සඳහා ඉතා සංවිධිත ව්‍යුහයක් අවශ්‍ය වූ බැවින්, පීඩිත ජනතාවට බලයක් ලැබෙන, සියලූම ජීවීන්ගේ පැවැත්ම තහවුරු වූ සාධාරණ සමාජයක් අරමුණු කර ගත් ස්වාධීන අනන්‍යතාවයකින් හෙබි, ස්ත‍්‍රි පුරුෂ සම සාධාරණත්ව සහිත විවිධ ජන කොට්ඨාශයන් සහ ක්ෂේත‍්‍ර ඒකාබද්ධ වූ පුළුල් ජන ව්‍යාපාරයක් දෙසට ගමන් කරන්නා වූ ක‍්‍රියාදාමයක් ගොඩනැගීම සඳහා පළාත් මට්ටමින් ජනතා සැලසුම් සංසද ගොඩනගන ලදී. පළාත් සංසදයන් හි ප‍්‍රධාන අභිප‍්‍රාය වන්නේ බිම් මට්ටමින් ජනතාව ඒකරාශි වී ඔවුන් විසින් සැලසුම් සකස් කර ගනිමින්, ජනතා සභාගිත්වයක් සහිත වැඩපිළිවෙළක් දිනා ගැනීමය.

අපගේ ඉල්ලීම වන්නේ

ඔබ දැනටමත් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂක අපේක්ෂිකාවක් විය හැක. නැත හොත් ජන්ද දායකයෙක් විය හැකිය. කෙසේ වුවද අප ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනුයේ පහත සඳහන් මූලික ප‍්‍රතිපත්තියේ සිට කටයුතු කරන, ඒ වෙනුවෙන් දිගුකාලීනව ජනතාවට සහාය වන, ජනතාවගේ අනාගත ජීවිත වෙනුවෙන් වගකියන, ඒ සඳහා කටයුතු කරන පිරිසක් බවට පත් වීමයි. එය අඛණ්ඩ ක‍්‍රියාවලියක් බවත්, ජන්දයකින් පසු අවසන් නොවන බවත්, පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම දෙසට එම ක‍්‍රියාකාරිත්වය පත් කර ගැනීමට මෙහෙයවා ගන්නා ලෙසය.

- ඉහළින් පහළට තල්ලූ කරන සංවර්ධන න්‍යාය පත‍්‍රයට වෙනුවට ජනතාව විසින් සකස් කර ගත් සංවර්ධන න්‍යාය පත‍්‍රයකට ප‍්‍රමුඛතාව දියයුතු බවත්,
- බහු ජාතික සමාගම් හා මහා පරිමාණ ආයෝජකයන් සමාජ හා ආර්ථික සාධාරණත්වය ඇති නොකරන හෙයින්, ඒ සඳහා විකල්ප වූ ජනතා හිතවාදී ආර්ථික සැලසුමක් ගොඩනැගිය යුතු බවත්,
- ආහාර ස්වෛරීභාවය තහවුරු කළ යුතු වන්නේ ඉඩම්, බීජ හා ජලයේ අයිතිය ගොවීන්ට ලබා දෙන ස්වභාවික සම්පත් සංරක්ෂණය වන ප‍්‍රතිඋත්පාදනය තහවුරු කරන සමස්ත ක‍්‍රියාවලියක් තුළින් පමණක් බවත්,
- ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ හැක්කේ ස්ත‍්‍රී-පුරුෂ සම දායකත්වය සහිත පාලන ව්‍යුහයකින් පමණක් බවත්
- සමාජයේ බහුතර ජනතාවක් වෙත නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් හා වරප‍්‍රසාද ලබා ගැනීමට ඇති අයිතිය පිළිගන්නා අතර, එම නිදහස් අයිතිය උදුරා ගැනීමට ගන්නා කවර ආකාරයක හෝ සැලසුම් පරාජය කළ යුතු බවත්,
- ජාතීන් අතර විශ්වාසය, ආදරය හා මනුෂ්‍යත්වය රැක ගැනීම අනාගතය උදෙසා තීරණාත්මක අවශ්‍යතාවක් බවත් ය.



2018 පෙබරවාරි 01