පාරිසරික ගොවිතැන පුළුල් සංකල්පයකි

ආචාර්ය ලයනල් වීරකෝන්
මහ ඉලූප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණායතනයේ හිටපු කෘෂි විද්‍යාඥ(සංරක්ෂණ ගොවිතැන හා ගොවි වන වගාව)

පසුගිය වසර පුරාම ඉංග‍්‍රීසි සහ සිංහල පුවත් පත්වල වකුගඩු රෝගයට නිධාන වූ හේතු, ග්ලයිෆොසේට්” තහනම, යොදනු ලබන කොම්පෝස්ට් පොහොරවල බැර ලෝහ අඩංගු බව වැනි යම් යම් කරුණු සම්බන්ධව විද්‍යාත්මක කරුණු බොහොමයක් ඇතුලත් කළ ලිපි පලවිය. එහි උච්ඡුතම අවස්ථාව ලෙස විශ‍්‍රාම ගිය වෘත්තිකයන් අත්සන් සහිතව ගරු ජනාධිපතිතුමාට කරුණු පහදා දෙමින් යවන ලද ලිපිය ද අන්තර්ජාලයේ මෙන්ම, පුවත්පත් වල ද පළවිය. විශේෂයෙන්”ග්ලයිෆොසේට්” තහනම ප‍්‍රධාන කර මෙය ලියැවී ඇති අතර, අන්තර්ගතය තුළ මෙම තහනම නිසා, වී ගොවිතැනටත්, විශේෂයෙන් තේ වැවිලි කර්මාන්තයටත් සිදුවී ඇති අනතුරු පහදා දී තිබුණි. මේ අතර පුවත් පත්වල මිලදී පළකල දැන්වීමක් ද මෙයට අනුබලයක් විය.
ග්ලයිෆොසේට් පිළිබඳ සංවාදය ඇරඹුනේ වකුගඩු රෝගයට ප‍්‍රමුඛ හේතුව ග්ලයිෆොසේට්ය යන මතය අනිත් හේතු කාරක වලට ඉහළින් ඉස්මතු වූ බැවිනි. කිවුල් සහිත ජලය ඇතිවිට මෙම රසායනය කැඞ්මියම්, ආසනික් වැනි බැර ලෝහ සමඟ සංගටක ඇති කරන බවත්, මෙම සංකීර්ණය පානය කළවිට මිනිසාට වකුගඩු ආසාදනය වැළඳෙන බවත්ය. මෙම තේරුම් කර දීම ප‍්‍රමාණවත් නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. තවද ජලය පරීක්ෂා කර ඇත්තේ පදවිය ප‍්‍රදේශයේ ළිං දෙකක පමණක් බවත්, එහි වූවද මෙම රසායනය ඇත්තේ සම්මත ප‍්‍රමාණයට වඩා ඉතා පහළින්, නොසැලකිය හැකි මට්ටමක බවත් ය. ජලයේ පොස්පේට් අයන සාන්ද්‍රණය වැඩිවීම, කැඞ්මියම් සම්මත ප‍්‍රමානය ඉක්මවා ජලයේ අඩංගුවීම, ෆ්ලෝරයිඞ් වැනි අයන ජලයේ වැඩි වී තිබීම, සුපෝෂණය වැනි කරුණු අභිබවා, ග්ලයිෆොසෙට්, වකුගඩු රෝගයට හේතු කාරක වූ බව ඉස්මතු විය. මෙම රසායනය තහනමට ලක් වූයේ මෙලෙසිනි. විද්‍යාඥයන්ගේ මතවල මෙවැනි විවිධත්වයක් ඇති අතර, වතුගඩු රෝගයට නිධානය මෙතෙක් සොයා නොගත් සංකීර්ණ ගැටළුවක් වී තිබේ.
මේ සියළුම කරුණු හමුවේ, කෘෂි රසායන වලින් බැහැර වූ වස විසෙන් තොර පාරිසරික ගොවිතැනක් ඉදිරි වසර තුනක් තුළ ක‍්‍රියාත්මක කළ යුතුය යන්න රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවට පත් කිරීම මෙහි ප‍්‍රතිඵලය විය.
පහුගිය කාලය පුරාම පාරිසරික ගොවිතැන පිළිබඳ නිවැරදි හෝ පිළිගත් විග‍්‍රහයක් සිදු නොවූ බව මගේ අදහසයි. දැනට භාවිතාවන ”කාබනික ගොවිතැන” යන්නෙන් වෙනත් අරුතක් නිරූපනය වන නිසා, පාරිසරික ගොවිතැන කුමක් ද යන්න යටපත් විය. කාබනික ගොවිතැනින්, කාබනික ආහාර නිෂ්පාදනය කරගත හැකිබවත් , මෙම නිෂ්පාදන වැඩි මිලට අලෙවි කර ගත හැකි බවත් ඒ සඳහා ”කොම්පෝස්ට්” භාවිතාව යොදා ගනු ලබන බවත් කියන තරමට අර්ථය පටු විය. නැතිනම් ලූහුවිය.
පාරිසරික ගොවිතැන යන්නට පසුගිය දශක කිහිපය තුල විවිධ නම් ගණනාවක් යෙදුනි. විකල්ප ගොවිතැන, තිරසර ගොවිතැන (Sustainable Agriculture) ප‍්‍රති උත්පාදන ගොවිතැන හා මෑතක සිට ගොවි පරිසර විද්‍යාව (Agro ecology) යනුවෙන් නම්කර ඇත. මෙම ගොවිතැන වූ කලී පද්ධතියකි. එය සංකීර්ණ වූවකි. නම කුමක් වූවත් මේ සියල්ල ම ප‍්‍රධාන මූල ධර්ම කිහිපයක් අනුගමනය කරයි. මෙය ස්වභාවික පරිසර පද්ධති හා පාරම්පරික කෘෂිකාර්මික පද්ධති අනුගමනය කරන මූල ධර්ම වල එකමුතුවක් වේ. මෙම මූලධර්ම අතර, පෝෂ්‍ය ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය වීම, පස ප‍්‍රතිඋත්පාදනය කිරීම, ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියට හානිකර පළිබෝධකයින්ට සතුරන්(විලෝපිකයින්/පරපෝෂිතයන්) වර්ධනය වීමට ඉඩ හැරීම, නයිට්‍රජන් තිර කරන ශාක වර්ග ගොවිතැනට ඒකාබද්ධ කිරීම, පද්ධතියේ සංරචක අතර අන්තර් සම්බන්ධතාවය හා එහි බහු කාර්්‍යය ස්වභාවය වර්ධනය කිරීම මෙහි මූල ධර්ම කිහිපයකි. මෙම`ගින් ගොවිතැන් පද්ධතිය ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන අතර, බාහිර යෙදවුම් වලින් නිදහස් වන්නේ ය. තවද එවන් ගොවිතැන් පද්ධතියක් ස්ථායි වන අතර, එම`ගින් තිරසාරව ආහාර නිෂ්පාදනය සිදුවන්නේ ය යන්න මෙහි කෙටි අදහසයි.
මෙම මූලධර්ම ක්ෂාත්සාත් තර ගැනීම සඳහා හඳුනාගත් තාක්ෂණ ගණනාවක් ඇත. වසුන් භාවිතාව, වීදි භෝග වගාව (Alley Cropping) හෝ දෙවැටි ක‍්‍රමය(SALT) මගින් පාංශු සංරක්ෂණය සිදු කර ගැනීම එකකි. පසේ ස්වාභාවික සාරවත් භාවය වැඩිකර ගැනීම සඳහා ගොවි බිමේ හෝ තමා වාසය කරන ප‍්‍රදේශයේ හෝ ඇති ජෛවීයව වියෝජනය වන අමුද්‍රව්‍ය, නිදසුන් ලෙස පිදුරු, උදළු ගෑ තණ කොළ, කළින් කන්නයේ ඉතිරිවන බෝග ශේෂ, ගොම, ගව මුත‍්‍රා, අමු කොළ විවිධාකාරයෙන් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම තවත් තාක්ෂණයකි. කොම්පෝස්ට් හෝ කොම්පෝස්ට් ක‍්‍රියාව සිදුවන බෝග සිටුවන පාත්ති, කාබනික දියර පොහොර (ශාක සාර) ක්ෂුද්‍ර ජීවී ද්‍රාවණ (ජීවමෘත), මාළු ටොනික්, පළතුරු ටොනික් වැනි ද්‍රාවණ පසට එකතු කර, පස සරු කර ගැනීම ගොවීන් අතර ජනප‍්‍රියය. බෝග මාරුව, එකිනෙකට ගැලපෙන බෝග එකම බිමේ එක්වර හෝ එකිනෙකට පසුව තවෙකක් වන ලෙස වගා කර, බෝග මිශ‍්‍රණයක් ගොවි බිමේ ස්ථාපිත කර, ගොවි බිමේ තනි බෝගයක් වෙනුවට, බෝග විවිධත්වයක් නිර්මාණය කර ගැනීම තවත් එවැනිම තාක්ෂණයකි. නිදසුනක් ලෙස අබ හා කුරක්කන් එකට එකවර වගා කිරීම පාරම්පරිකව සිදුවිය. එලෙසම හුඹස් සහිත හේනක උස් ස්ථාන වල, ඉඩ ඉරිගු, මෑ හෝ බෝංචි වැල් සමඟ වට්ටක්කාද එකට වගා කිරීම තවත් නිදසුනකි. මෙවැනි මිශ‍්‍රණ පර්යේෂණ මඟින් හඳුනාගෙන නැවතත් ගොවිබිමට ගෙන ආ හැක. එමඟින් සෝදා පාළුව මෙන්ම කෘමි හානි ද අවම කරගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. ගොවි බිම් වල බෝග විවිධත්වයට අමතරව කෘෂිකාර්මික නොවන භූමි දර්ශක විවිධත්වයක් (Landscape Diversity) ඇති කර ගැනීමද අත්‍යාවශ්‍ය අංගයකි. මෙයින් අදහස් කරන්නේ වගා කරන බිමක වගා නොකරන බිම් කඩවල් ස්ථාපිත කර ගත යුතු බවයි. ඕවිට, දෙනි, බඩවැටි, පිල්ලෑව, දොළ හෝ වෙල් පහු වතුර ගලා යන ඇල මාර්ග දෙපස ඇති වෘක්ෂලතා සහිත බිම් කඩ, වියළි කලාපයේ වැව දෙපස පිහිටන කට්ට කඩුව හා ගස් ගොම්මන වැනි රක්ෂිත, මෙවැනි භූමි දර්ශක වේ. මේවා විද්‍යාඥයන් හඳුන්වන්නේ දුපත් ලෙසය. මෙම භූමි දර්ශක පාරම්පරික ගොවිතැනේ ලක්ෂණයකි.
මෙමඟින් සමස්ථ ගොවිතැන් පද්ධතියට විශාල සේවාවක් සිදුවේ. පරාග කාරකයින් මෙන්ම විලෝපිතයන් හා පරපෝෂිතයින් බෝවන්නේ මෙම පරිසරයේ ය. එය බෝග නිෂ්පාදනයට රැුකුලකි. කට්ටකඩුව ජලයේ ඇති විෂ ද්‍රව්‍ය හා ලවන ඉවත් කර පිරිසිඳු ජලය කුඹුරට ලබා දෙයි. තවද කට්ට කඩුව හා ගස් ගොම්මන වැව හරහා ගමන් කරන තද සූළඟේ වේගය අවම කරයි. එම`ගින් වැවේ ජලය වාෂ්ප වීම අඩුකරයි. තවද පාරම්පරිකව වගා කළ බීජ, සිදුවෙමින් තිබෙන දේශතුණික විපර්යාස හමුවේ ඔරොත්තු දීමේ හැකියාවක් තිබීම නිසා ඒ ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබේ. මේ නිසා පාරම්පරික මෙන්ම දේශීය බීජද ආරක්ෂා කර ගැනීම ද පාරිසරික ගොවිතැනේ තවත් කර්තව්‍යයක් වන්නේ ය. ඉහත සඳහන් කළ මූල ධර්ම හා තාක්ෂණ නවීන විද්‍යාවන්ට බද්ධ කර පාරිසරික ගොවිතැනකට ගෙන යාම රටේ අවශ්‍යතාවයව ඇත.
හරිත විප්ලව තාක්ෂණය හා කට්ටලය මෙරටට හඳුන්වා දුන්නේ 1965න් පසුවය ඒ වනවිට නිවර්තන කළාපය පුරාම එක්වරම වාගේ මෙම තාක්ෂණය පැතිරී ගියේ ය. මුලදී තිරි`ගු නිෂ්පාදනයෙන් වැඩි අස්වැන්නක් ගැනීම සඳහා මෙම තාක්ෂණය මෙක්සිකෝවේ දී වැඩි දියුණු කළ අතර, පසුව ජාත්‍යන්තර සහල් පර්යේෂණයක් පිලිපීනයේ මැනිලා නුවර ස්ථාපිත විය. ඒ අනුව වී නිෂ්පාදනය වැඩි දියුණුව සඳහා අවශ්‍ය පහසුකම් මෙයින් සැපයුනි. හරිත විප්ලව තාක්ෂණය හය වැදෑරුම් වේ. සුක්ෂම බිම් සැකසුම, වාරි ජල සම්පාදනය, කෘත‍්‍රිම පොහොර භාවිතය, වල් නාශක හා කෘමි නාශක භාවිතය, අභිජනනය කළ වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ නිෂ්පාදනය හා තනි බෝග වගාව මෙම තාක්ෂණ කට්ටලය වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය, විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පීඨ හා කෘෂිකර්ම පුහුණු ආභ්‍යාස ආයතනවල විෂය මාලාව මෙම තාක්ෂණය ප‍්‍රවර්ධනය සඳහා සමස්ථ වශයෙන් යොමු විය.
කෘෂිකර්ම පර්යේෂණ වැඩසටහන් පුහුණු හා ව්‍යාප්ත කටයුතු පූර්ණ ලෙසටම මේ දැවැන්ත කාර්‍යය කැපවිය. මුලදී වී ප‍්‍රභේද සඳහා සිදු වූ යෙමුවීම, පසුව වෙනත් බෝග සඳහා ද වැවිළි කර්මාන්තය සඳහා ද ව්‍යාප්ත විය. විවිධ දේශගුණ කළාප සඳහා නිර්දේශ වෙනස් විය. සුදුසු වී ප‍්‍රභේදය කුමක් ද? යෙදවුම් මොනවාද? වශයෙනි. මේ හැරුණු විට දෙපාර්තමේන්තුව තුළ පර්යේෂණ අංශ තුළ බෝග සඳහා වෙනම අංශ ද (Compartmentalization) පොදු ධාරා ලෙස ඇති විෂය ක්‍ෂේත‍්‍රවල බීජ අභිජනනය, කීට විද්‍යාව, ව්‍යාධි විද්‍යාව, පංශු විද්‍යාව ආදී ලෙසද වෙන්විය. ඒ තරමටම විෂය ධාරා විශේෂිත තාවයකට ගෙන ඒම මෙහිදී සිදුවිය. මේ නිසාම ඕනෑම කෘෂිකර්මය ප‍්‍රතිපත්තියක මූලික කේන්ද්‍රගත නිමිත්ත වූයේ ද බෝගයයි. එයට අදාල යෙදවුම් නිර්දේශයයි. හරිත විප්ලවය නිසා ආහාර නිෂ්පාදනය ඉක්මනින්ම සිදු වූ අතර, එය විප්ලවීය පිම්මක් ද විය. නමුත් 1990 ගණන් වනවිට ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය අඩුවීමේ ප‍්‍රවනතා දක්නට ලැබේ. වැඩිවන ජනගහනයට මෙම තාක්ෂණයද ප‍්‍රමාණවත් නොවන නිසා වෙනත් ප‍්‍රවනතා බටහිර ලෝකයේ බිහිවෙමින් ඇත. ජාන ඉංජිනේරු විද්‍යාව, නැනෝ තාක්ෂනය, අනුක ජීව විද්‍යා තාක්ෂණය මෙවැනි නව තාක්ෂණයන්ය.

ශ‍්‍රී ලංකාවේ පාරිසරික ගොවිතැන් පර්යේෂණ හා භාවිතයන්

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරිත විප්ලවය හදුන්වා දීමටත් වසර 40කට පමණ පෙර සිට රනිල කුලයට අයත් නෛටි‍්‍රජන් පොහොර නිපදවා ගත හැකි ශාක විශේෂ පිළිබඳව පර්යේෂණ කර ගොවීන් අතර මෙම තොරතුරු ගෙන යනු ලැබීය. මෙම පර්යේෂණවල ලිපි එකතුවක් ් ඵ්බම්ක දෙ ඨරුැබ ඵ්බමරසබට නමින් 1931 වර්ෂයේ දී කෘෂිකර් දෙපාර්තමේන්තුව ම`ගින් ප‍්‍රකාශයට පත් කරන ලදී. මේ වන විට තේ ඇතුළු වැවිළි කර්මාන්ත ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂය ෙක්‍ෂත‍්‍රයට අයත් වූ නිසා, මෙම භාවිතයන් එම ෙක්‍ෂත‍්‍රවලට ද අදාළ විය. විශේෂ 23ක් පිළිබඳව පර්යේෂණ කර ඇති අතර, එම ශාක පත‍්‍රවල අඩංගුව ඇති පෝෂක පදාර්ථ ප‍්‍රමාණය, පත‍්‍ර දිරාපත්වීමට යන කාලය, එම කාල පරාස තුල, පසට එකතු වන පොහොර ප‍්‍රමාණ පිළිබඳව අධ්‍යනය කර තිබේ. එක් පර්යේෂණයකට අනුව කොළ පොහොර භාවිතාව නිසා ඒ වන විට භාවිතා කළ පාරම්පරික වී වර්ගයක අස්වැන්න අක්කරයකට බූසල් 21කින් වැඩි වූ බවත්, ලැබූ ලාභය රු. 52.00ක් බවත් දක්වා තිබේ. පිටු 189ක් පුරා දිවෙන පර්යේෂණ ලිපි ගණනාවකින් කොළ පොහොර යෙදීමේ අගය දක්වා තිබේ.
මෙම පර්යේෂණ වලින් පසුව නැවත වරක් පාරිසරික ගොවිතැන අදාළ පර්යේෂණ ගැන සඳහන් වන්නේ හරිත විප්ලවය ආරම්භ වීමෙන් පසු 1970 ගණන්වල මැදය. ජාත්‍යන්තර වෙළඳපොළේ පොහොර වල මිල ඉතා ඉහළ යාම මෙයට හේතුව විය. අපි ශාකමය ක්‍ෂද්‍රජීවී විශේෂයක් වන, නීල හරිත ඇල්ගාවන්(blue-green alga) හෙක්ටයාරකට කිලෝග්‍රෑම් 10-20ත් අතර ප‍්‍රමාණයක් නෛටි‍්‍රජන් පොහොර ප‍්‍රමාණයක් ලබාගත හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ආනන්ද කුලසූරිය විසින් පෙන්වා දුනි. මෙහි නොස්ටොක් හා ඇනාබීනා වැනි විශේෂ මෙලෙෂ වායුගෝලයේ ඇති නෛටි‍්‍රජන් තිරකර, එම පොහොර නිෂ්පාදනය කරන බව දක්වන ලදී. මෙයට පසුව ජලයේ පාවෙන මීවන වර්ගයක් වන ඇසොල්ලා පැලය ද පොහොර ලෙස වී ගොවිතැනට යොදා ගත හැකි බව පෙන්වා දුනි. මෙම පැලෑටි කුඹුරු පසට දෙවරක් එකතු කළ විට, කිලෝග්‍රෑම් 55-84 සමාන නෛටි‍්‍රජන් පොහොර ප‍්‍රමාණයක් ලබා දෙන බව පෙන්වා දුනි. තවද ආචාර්ය සරත් අමරසිරිට අනුව ඇසොල්ලා නිසා හෙක්ටයාරකට කිලෝග්‍රෑම් 30කට සමාන නයිටිජන පොහොර ප‍්‍රමාණයක් කුඹුරට යෙදීම අඩුකරගත හැකි බව පෙන්වා දෙන ලදී. පිදුරු ප‍්‍රතිචක‍්‍රීයකරණය කරගත් විට නිර්දේශිත නයිටි‍්‍රජන් පොහොර ප‍්‍රමාණය හෙක්ටයාරකට කිලෝග්?ම් 30කින් අඩුකර ගත හැකි බවත්, පොටෑසියම් පොහොර යෙදීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් පෙන්වා දුන්නේ ය. ඇසොල්ලා යෙදීම එතරම් ජනප‍්‍රිය නොවූවත්, පිදුරු ප‍්‍රතිචක‍්‍රීකරණය කර කුඹුරට පොහොර ලෙස යෙදීම නිර්දේශ විය.
1980 ගණන් වනවිට මහ ඉලූප්පල්ලූ කෘෂිකර්ම පර්යේෂණායතනය මතු පිට පස රැුක ගැනීමේ වැදගත් කම අවබෝධ කර පිදුරු වැනි වසුන්, ජීවී වසුන් සහ වීදි භෝග වගාව (Alley Cropping) වැනි භාවිතයන් පිළිබඳව පර්යේෂණ සිදු කළේය. මෙම`ගින් ශුන්‍ය බිම් සැකසුම් ක‍්‍රමයක් (Zero Cillage or no hill farming ) නිර්මානය කර ගත හැකිවිය. රසායන යොදා මෙම ස්වභාවය ඇති කරගත හැකි නමුත්, වැඩි අවධානයක් කළේ ඉහත කී ජීව විද්‍යාත්මක ක‍්‍රම පිළිබඳව ය.
මෙම ක‍්‍රම භාවිතයන් ගොවීන් අතරට ගෙන යාමට ඒ දෙසට නැඹුරු වූ ව්‍යාප්ත ක‍්‍රමයක් නොවුනත් කෘෂිකම_ දෙපාර්තමේන්තුව පිළිගත හැකි සංකල්පයක් ලෙස අවබෝධ කරගෙන තිබුණි. මෙම පර්යේෂණ වලට අමතරව, කුඹුරේ වැඩෙන කුඹුරු වල් පැළෑටියක් වන සෙස්බේනියා ස්පෙසි ඕසා (Sesbania speciosa ) නම් වල් පැළෑටි ශාක විශේෂය කුඹුරට අවශ්‍ය සියළුම පොහොර ලබාදිය හැකි භාවිතයක් ලෙසද වැඩි දියුණු කළේය. මෙම ශාකයේ බීජ එකතු කර, ගොයම් කැපීමට පෙර කුඹුරට ඉස පුරන් කාලයේ දී ලියද්දේ ම වැඞීමට හැරීම මෙම ක‍්‍රමයයි. මෙම කාලය තුල ඉතා වේගයෙන් වැඩෙන මෙම පැළ, පොළව ආවරණය කරමින් වැඬේ. මේ නිසා සියළුම වල් පැළෑටි වර්ග යටපත් වේ. මාස 2-3 කට පසු සී සාන විට මෙම පැළය පසට එකතු වී අවශ්‍ය පොහොර පසට එකතු කරයි. පොහොර අවශ්‍යතාව 75%කින් හෝ ඊට වැඩි ප‍්‍රමාණයකින් අඩුකරගත හැකි බව පෙන්වා දුනි.
ගොම හා කුකුළු බෙටි කොම්පෝස්ට් කර පසට යෙදු විට, වම්බටු, ගෝවා සහ තක්කාලි වැනි එළවළු වල අස්වැන්නේ ප‍්‍රමානය වැඞී කරගත හැකි බවත්, රසායන පොහොර යොදා ලබාගන්නා අස්වැන්නට සමාන හෝ වැඩි ප‍්‍රමාණයක් මේ ක‍්‍රමයෙන් ලබා ගත හැකි බවත් ලතීෆ් හා මරික්කාර් යන විද්‍යාඥයන් විසින් පෙන්වා දුනි. යොදා ගත යුතු කොම්පෝස්ට් ප‍්‍රමාණය වැඩි වීම ගැටළුවක් වේ. තවද මෙම කොම්පෝස්ට් වලින් මුක්තවන පොස්පේට්යන ප‍්‍රමාණය වැවිවීමද ගැටළුවකි. මීට සමාන්තරව, වැවිළි කර්මාන්තය ද මෙවැනි පාරිසරික ක‍්‍රම පිළිබඳව අත්හදා බලමින් ඒවා තම වතුවල ක‍්‍රියාත්මක කරමින් සිටියහ. තේ පැළය, සමස්ථ භූමියම ආවරණය කර වැඩෙන්නේ නම් සෝදා පාළුව අවම කරගත හැක. වල් මතුවීම සිදු වන්නේ ගස්වල වැඞීම බාලවී හෝ නියමාකරව කළමණාකරනය නොකිරීම නිසා, හිඩැස් ඇති වනවිටය. වල් පාලනය සඳහා ජීව විද්‍යාත්මක ක‍්‍රම අනුගමනය කළෝය. වල් පැලෑටි මතුවීම වැළැක්වීම සඳහා ඇරාකිස් පින්ටෝ, ඩෙස්මෝසියම් වැනි ශාකස ජීව වසුන් ලෙස වගාකරනු ලැබේ. මේවා පසට පොහොර ද එකතු කරයි.
තේ ගසේ සෙවනට වගා කර ඇති ගස් නිසා තේ නීරෝගී වර්ධනයට අත්‍යවශ්‍ය ක්‍ෂද්‍ර මූල ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ද පසට එකතු වේ. රබර් වතුවල පස සංරක්‍ෂණය සඳහා වගා කරන සජීවී වසුන් ශාක විශේෂ වන සෙන්ට්‍රෝසීමා කැලපෝගෝනියම් හා පියුරේරියා මඟින් වල් වර්ධනය වන අතර, පසට අවශ්‍ය පොහොරද ලබා දෙයි. පොල් වතු වලද මෙම ජීවී වසුන් වලට අමතරව, බ‍්‍රැකේරියා, පැනිකම්,ටයි ලොසැනත වැනි රනිල තෘණ විශේෂද වවා සත්ත්ව පාලනය ද සිදු කර ගන්නා ලදී. මීට අමතරව අල්ලියකට ගස් 10ක් වන සේ ගිනිසීරියා ශාක වගා කර පොල් ගසකට කිලෝග්‍රෑම් 30 වන ලෙෂ කොළ පොහොරද ලබා දෙයි. 1990 දශකයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය ඒකාබද්ධ පලිබෝධ පාලනය (Integrated Pest Management ) කෘමි හානි අවම කිරීමේ පරමාර්ථයෙන් ගොවීනට හඳුන්වාදෙන දෙනු ලැබීය. මේ සඳහා කෘෂි ෙක්‍ෂත‍්‍ර පාසල් ද ආරම්භ කර පුහුණු ලබා දුන් අතර, දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාප්ත සේවකයින් සියල්ලම මේ සඳහා සහභාගී විය. මෙහි තාක්ෂණය වන්නේ කෘමි නාශක යොදන වාර ගණන අඩු කරන අතර, ස්වාභාවිකවම පලිබෝධකයන් ආහාරයට ගන්නා විලෝපිත හා පරපෝෂිත ගහණය වැඩි කිරීමයි. වාර්තාවන්ට අනුව මෙම කටයුත්ත සඳහා ගොවීන් 55,000ක් සහභාගී වූ අතර, පලිබෝධ නාශක ඉසින වාර ගණන 2.9 සිට 0.6 ක් දක්වා අඩුවූ බවයි. එනම් පලිබෝධ 80% කින් අඩු වූ බවයි. මේ අනුව ගොවීන්ගේ නිෂ්පාදන වියදම ද අඩුවිය.
පසුගිය දශක කිහිපය කාලය තුළ කෘෂිකර්ම විද්‍යාඥයන් එහි ව්‍යාප්ති අංශය හා පුහුණු කටයුතු ද බටහිරින් පැමිණි ආගන්තුක හරිත විප්ලව තාක්ෂණය පෝෂණය කරමින්, එය ගොවීන් අතරට ගෙන ගියහ. වර්තමාන රජය මෙතෙක් අප ගමන් මඟින් වෙනස්ව, පාරිසරික ගොවිතැන මුලික වූ කෘෂිකර්මයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින්, ප‍්‍රතිපත්තිමය ලෙස මෙම වෙනස සිදුවිය යුතුය යන්න අවධාරනය කරයි. මේ නිසා පරිසර ගොවිතැන මූලික කර ඉහත කී කටයුතු සිදුකළ යුතුවේ. කෘෂිකර්ම හා අනෙක් ෙක්‍ෂත‍්‍රවල විශේෂයෙන් ම වැවිලි මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුය. මෙහිදී විද්‍යාඥයන්ට ඇති කාර්‍යයභාරය සුවිශාලය. අපේම අමුද්‍රව්‍ය පාවිච්චි කර කර යොදා ගන්නා තාක්ෂණ වැඩිදියුණු කළ යුතුවේ. අතීතයේ සිටි කෘෂිකර්ම විද්‍යාඥයන් විසින් සිදුකළ පර්යේෂණ පණගැන්විය යුතුය. තවද සිවිල් ක‍්‍රියාකාරකයන් හා ගොවීන් ද පසුගිය කාලය තුළ මීට අදාලව භාවිතයන් ගණනාවක් වැඩිදියුණු කරගෙන වැඩි අස්වැන්නක්, නීරෝගී බෝගයක් වගා කරගෙන ඇත. කියුබාව, ස්විස්ටර්ලන්තය හා භූතානය වැනි රටවල් පාරිසරික ගොවිතැන මධ්‍යම රජයේ කෘෂිකර්ම ප‍්‍රතිප්තිය බවට පත් කරගෙන තිබේ. මේ සියළුම තොරතුරු හා පර්යේෂණ පරිශීලනය කර තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ මඟින් නව ප‍්‍රවේශයකට එළඹිය හැකිය. මේ සඳහා විද්‍යාඥයන්ගේ වගකීම සුවිශාලය. නව විද්‍යාත්මක සොයාගැනීම් හා තාක්ෂණ ලොවට හඳුන්වා දෙන්නේ විද්‍යාඥයන් ය. ඔවුහු නිර්මානශීලීය, බුද්ධිමත්ය, පැහැදිළිවම විද්‍යාඥයන් මනුෂ්‍යයෝ ය. මෙම පරිවර්තනය සඳහා ඔවුන්ගේ සහාය අත්‍යවශ්‍යයෙන්ම ලබාගත යුතුවේ.