ආහාර ස්වෛරීභාවය ගොඩනැගීමට සැබෑ දේශපාලනික විසඳුමක් අවශ්‍යයි.

මාධ්‍ය නිවේදනය

2019 ඔක්තෝබර් 16

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය





ඔක්තෝබර් 16 දින ලෝක ආහාර දිනය සැමරේ . එක්සත් ජාතීන්ට අනුව මෙවර එහි තේමාව 2030 දි සාගින්න දුරු කිරීමට පෝෂ්‍ය ආහාර වේලක් යන්නයි. දශක දෙකක් තිස්සේ වරෙක සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ලෙස හා තිරසාර සංවර්ධන ඉලක්ක ලෙස ගෙන ආ ව්‍යාජයන්ගෙන් සාගින්න දුරු කිරීමට ඔවුනට නොහැකි විය. 2018 දි සාගින්නේ සිටි ජනගහනය මිලියන 820 කි. ලෝක ජනගහනය බිලියන 7.6 කින් එය 10.7% ක ඉහළ අගයකි. දැන් කියන්නේ 2030 වනතුරු බලා සිටින ලෙසය. ලෝක බලවතුන් විසින් මෙතෙක් දරන ලද උත්සාහයන් නිරර්ථක බවත් එමඟින් සාගින්න දුරු කිරීමට නොහැකි බවත් ඔප්පු වී හමාරය.

බහු ජාතික සමාගම් මත දෝලනය වන ආහාර නිෂ්පාදනය වෙළඳ පොළ මත තීරණය වීමට අවකාශ සලසා ඇති බැවින් පීඩිත ජනතාව හා සුළු පරිමාණ නිෂ්පාදකයන් තව තවත් සුරා කැවෙනවා හැරෙන්නට ඔවුන්ට ලැබෙන සහනයක් නොමැත. ගෝලීය පරිමානව සිදුවන මේ ක‍්‍රියාන්විතය හේතුවෙන් ලෝකයට ආහාර සපයන 72% ක් වන සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන්ගේ ජීවිකාවන් හා සම්පත් අනතුරේය. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය ,ලොව පුරා සිටින අපගේ සහයෝගිතා සංවිධාන හා එක්ව ලෝක ආහාර දිනයේදී සිහිපත් කරන්නේ ආහාර ස්වෛරිභාවය හා පාරිසරික කෘෂිකාර්ම ක‍්‍රමවේදයක් තුල ගෝලීය සාගින්න ජයගත හැකි බවයි.

මේ වෙනුවෙන් බහු ජාතික සමාගම් හා අන්තර් ජාතික මුල්‍ය ආයතන වලින් යැපෙන නිෂ්පාදන මාදිලිය අහෝසි කර, නිෂ්පාදන අයිතිය සුලූ නිෂ්පාදකයින්ට, සුලූ ගොවීන්ට හා ග‍්‍රාමීය ජනතාවට පැවැරෙන පරිදි වත්මන් රාජ්‍ය ආර්ථික හා කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති වෙනසක් ඇති විය යුතු වේ.

මේ තත්වයට මුහුණ දීමට නම් ගොවිජන ප‍්‍රතිසංස්කරණක් වහාම අවශ්‍ය වේ. බදු සංශෝධනට, නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසියට, ඉඩම් නීති වෙනස් කර ගැනීමට, බීජ අයිතිය තහවුරු කර ගැනීමට, ජලය අලෙවි භාණ්ඩයක් වීම වැලක්වීමට, ජාත්‍යන්තර මුල්‍ය ආයතන මඟින් පැනවෙන කොන්දේසි ඉවත් කර ගැනීමට සහ සමාගම් ආධිපත්‍යයට එරෙහිව මේ ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය ය.

එවැනි පරිවර්තනයක් කිරීමට හැකි වන්නේ ගොවියා මුලික කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණයකින් වන අතර, එය දේශපාලනික වෙනසකින් පමණක් නොව පවත්නා සමාජ ක‍්‍රමයේම වෙනසක් තුලින් බව අප පෙන්වා දෙන්නමු.

අපට සැමරීමට ලෝක ආහාර දිනයක් නොමැත. ඒ වෙනුවෙන් මෙතෙක් කරන ලද විනාශයන්, පීඩාවන් හි ගොදුරු බවට පත් ගොවින් ඇතුළු සමස්ත ජනතාවගේ ආහාර අයිතිය තහවුරු කර ගැනීම උදෙසා පොදු අරගලයක් වහා ඇරඹිය යුතුවේ



මෙයට,

චින්තක රාජපක්ෂ

මෙහෙයුම්කරු