මිනිසාත්, ස්වාභාවධර්මයත් නැවත එක් කරන කෘෂි සංස්කෘතියක ආගමනය.

ආචාර්ය ලයනල් වීරකෝන්

මෑත යුගයේදී කෘෂිකර්මයට හා ආහාර පද්ධතිවලට විශාල වරදක් සිදුවී ඇත. පසුගිය දශක කිහිපය තුළ ආහාර නිෂ්පාදනය විශාල ලෙස වර්ධනය වූ බව සැබෑය. නමුත් ඒ සමඟම ලෝකයේ මිලියන දහස් ගණනක ජනතාවක් සාගින්නට හෝ මන්දපෝෂණයට ගොදුරු වූහ. තවත් මිලියන ගණනක් වැරදි හා අධි ආහාර භාවිතය නිසා රෝගී වී සිටිති. පරිසරය ද රෝගී වී තිබේ. වැඩි දියුණු කළ ගොවිතැන් පද්ධති නිසා ස්වභාවික සම්පත් හායනය වෙමින් තිබේ. පස සෝදා පාළුවට පත්වන අතර, කාබනික ද්‍රව්‍ය පසෙන් ඉවත් ව ගොස් ය. මේ නිසා ම ක්ෂුද්‍ර ජිවී ක‍්‍රියාකාරීත්වය අවම වී තිබේ. පසේ පෝෂණ ගුණයක් නැත. ජලය ද දුෂණය වී හමාරය. පළිබෝධ නාශක හා පොහොර ජලයට එකතු වී ඇත. මෙම ජලය පානය කරන ජනතාව ද රෝගී වී සිටිති. වකුගඩු රෝගය, නිල්දරු උපත්, පිළිකා මෙහි ප‍්‍රතිඵල ලෙස සැලකේ. ජලයේ මයික්‍රොසිස්ටිස්, ඇනාබීනා, නොඩියුලේරියා සිලින්ඩ්‍රොස්පර්මා, සයනෝබැක්ටීරියා වැනි විෂ සහිත ක්ෂුද්‍ර ජීවී ගණන වැඩි විය. අපට මෙම තත්‍වය වෙනස් කර ගත නොහැකි ද? මෙයට විසඳුමක් ලෙස වෙනස් ආකාරයක ගොවිතැන් ක‍්‍රමයක් හඳුන්වාදීම කළ යුතුව තිබේ. ඒ සඳහා සුදුසු ම වේලාව පැමිණ ඇත. මෑත භාගයේ දී බොහෝමයක් අය, විද්‍යාඥයන්, ක‍්‍රියාධරයින්, සංවිධාන හා රාජ්‍ය ආයතන ද පරිසර විද්‍යාවේ මූලධර්ම මානවයාගේ සමාජමය හා සංස්කෘතිකමය පසුබිමත් ගලපා ගත් තිරසර හා ඵලදායී වූ සාර්ථක ගොවිතැන් පද්ධතියක් නිර්මාණය කර ගනිමින් සිටිති. මෙම ආයාසයන් ක‍්‍රමයෙන් අලූත් බිම් කඩවල් වලට ද ව්‍යාප්ත වෙමින් ඇත. මේ වූ කලී මිලියන ගණනාවක ජනතාවගේ ප‍්‍රාර්ථනාවන් පමණක් නොව, නව පෙරමුණක් ලෙස බිහිවීම තුළ මිලියන ගණනක ජනතාවගේ අපේක්‍ෂා ද මල් පල ගැන්වීමක් ද වේ. නැවත මානවයාත්, භූමියත්, ස්වභාව ධර්මයාත් එක් කරන කෘෂි සංස්කෘතියක් බිහිවීමට අඩි තාලම වැටී ඇත.
අපට නැවත ඉපැරණි ගැමි ජීවන රටාවට බද්ධ කරගත් නව ආරක් ගත් පරිසරයක් ගැන සිහින මැවිය හැකි ද? ගම්මුන්ට නාන්නට වැව, හෝ විලේ ළිඳේ ජලය නැවතත් පිරිසිදු වේවි ද? කුඹුරු කරන කන්නයේ දී වෙල් මාළු කුඹුරෙන් අල්ලා ගත් ගොවියා ඒවා උයා පන්සලට දානය ද දුනි. සිරිපාද වන්දනාවේ යන සමනල්ලූ නැවත ගම හරහා ඉගිලී යනු ඇත. එදා කුඩා ළමෝ ගස්වලට කතා කළෝය. එරමිණියා, හිඹුටු මාදං ඔවුන්ගේ ආහාර විය. විටෙක ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් පැවසූ දෙයක් සිහියට එයි. ”මම මලක් අල්ලනකොට මම අත තියන්නේ අනන්තයට. මිනිස් සංහතිය මේ ලෝකයේ පහළ වෙන්නත් කලින් මල් තිබුණා. ඒ වගේ ම මිනිස් සංහතිය අතු ගෑවිලා ගිහින් කාලාන්තරයක් තුළත් මේ ලෝකයේ මල් තියේවි. මලක් හරහා මම කතා කරන්නේ අනන්තයට.”
අතීතයේ භූමිය වැසී තිබුණේ වනාන්තරයෙනි. මෙහි තිබූ සමහර ශාක වල රස සහ ගුණය ආදීතමයෝ දැන සිටියෝ ය. ඒ නිසා ඒවා පරිභෝජනය ද කළෝය. ඔවුහු පදිංචි වූ ගම්මානයට මෙවන් බෝග ගෙනවුත් ඒවා වගා කර අනුභව කළෝය. වනාන්තරය එළිපෙහෙළි කර වැටි දමා හරස්කර ජලය එකතු කර වී වගාවට ජලය ලබා ගත්තෝ ය. වැව් ගොන්නවල් ඇති කිරීම නිසා ”එල්ලංගාවන්” බිහිවිය. නිම්න දෙකක් අතර වූ ශිඛරය හේන් වගාවටත් ඔවුන්ගේ පදිංචියටත් තෝරා ගත්තෝ ය. පසු කළෙක ගෙවත්ත බිහි වූයේ මේ ආකාරයටය. කඳුකරයේ හෙල්මළු නිර්මාණය විය. ඉහළින් ගලාඑන ජලයෙන් එහි වී වගා කළෝය. මෙම භූමි නිර්මාණ මිනිසා විසින් ම සිය අවශ්‍යතා සඳහා ම නිර්මාණය කර ගත්තේ, තමා කැලෑවෙන් ලබාගත්, හඳුනාගත් හා තෝරාගත් බෝග වගා කිරීමටය. මේ වූ කලී බෝග ”ගෘහස්ථ” කර ගැනීමේ කතාන්දරයයි. බෝග වගාව මෙන් ම සත්ත්ව පාලනය ද එළෙස ම මෙම සංස්කෘතියට එකතු විය. දඩයම අතහැරී ගියේ මේ නිසාවෙනි.
වර්තමානයේ ගොවිතැන හෝ වෙනත් කටයුතු සඳහා වනාන්තරය භාවිතා කිරීමෙන් වැළැක්වීමට ඒවා මිනිසාගෙන් වෙන්කර, සීමා පනවා තිබේ. රක්‍ෂිත, දැඩි රක්‍ෂිත ජතික වනෝද්‍යාන ආදී ලෙස මේවා නම් කර වෙනම ම සංරක්‍ෂණ කලාප ලෙස වෙන්කර ගෙන තිබේ. පාරම්පරික ගොවියාට මෙම වෙනස තේරුම් ගත නොහැකිය. ඔහුගේ පරම්පරාව ජීවත් වූයේ කැළයේ ය. මිනිසා එම පරිසරයේ ම කොටසකි. ස්වාභාවධර්මය මිනිසා එයින් වෙන් කළේ නැත.
පිටිසර ගම්මාන වල තිබූ පොදු භූ නිර්මාණ අද ඔවුනට අහිමිය. කැලෑව, ලන්ද, ඕවිට, බඩ වැටි, දෙනි, දොළ දෙපස තුරු ලතා, පිල්ලෑව මින් සමහරක්. මේවා ගොවිතැනට වැදගත් සේවාවක් සිදු කළේ ය. මෙම භූමි නිර්මාණ වගා බිමක ඇති වගා නොකරන පොදු බිම්ය. හරියට ම කියනවා නම් දුපත් සමූහයක් මෙනි. ගොවිතැනට හානිකරන පළිබෝධ විනාශ කරන පරපෝෂිතයන් හා විලෝපිකයන් බෝ වූයේ මෙම පරිසරයේ ය. වියළි කලාපයේ වැව් ගම්මාන වල කට්ට කඩුව හා ගස් ගොම්මනක් ද තිබුණි. එය වැවේ ජලය ආරක්ෂා කළේය. වේගවත් සුළඟ එහි වූ ගස් වලින් කපා හැරීම නිසාවෙනි. වැවේ මාළු බෝ වූයේ ද මෙම පරිසරයේ ය. අද වන විට මෙම භූමි නිර්මාණ ද ක‍්‍රමයෙන් ක්‍ෂය වී ඇති නමුත් එදා මෙය කෘෂි සංස්කෘතියේ ම අංගයක් විය. මෙම ගොවිතැන සඳහා බාහිර යෙදවුම් කිසිවක් යෙදුවේ නැත. ගොවිතැන සඳහා ප‍්‍රාදේශීයව ලබා ගත්, ජෛවීයව වියෝජනය වන සම්පත් භාවිතා කළහ. සමහරවිට තම ගොවි බිමේ නොමැති වුවොත්, අඩු වශයෙන් තම අසල්වැසියාගෙන් එම සම්පත් ලබා ගත්තේය. සමහරවිට බීජ වැනි යෙදවුමක් විය හැකිය. ගොම පොහොර හෝ කොළ පොහොර තම ගොවි බිමේ ම විය.
පෝෂක ද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණය තුළින් ගොවිතැනට අවශ්‍ය පාංශු සාපල්‍යතාව රැක ගත්තේ ය. වනාන්තරයක සිදුවන ආකාරයට ම පෝෂණ ද්‍රව්‍ය දිරාපත් වීම හා විවිධ පාංශු ස්ථර වල දී නැවත ද වරක් මුලෙන් ඒවා අවශෝෂණය කර, වැඩෙන ශාකයට අවශ්‍ය පෝෂණය එමඟින් සපයා දෙන්නේ ය. මෙම මූලධර්මය හේන් ගොවිතැනේ දී හා කුඹුරු ගොවිතැනේ දී ද යොදා ගැනුනේ පුරන් කාලය තුළිනි. ගොඩ ගොවිතැනේ දී කන්න කිහිපයක් වගා කර එම ඉඩම කැලෑවීමට නැතිනම් ” පුරන් ”වීමට ඉඩ හළේය. මෙම පුරන් කාලය තුළ දී නැවතත් වනාන්තරය වැඞී වල් පැළෑටි යටපත් වී නැවතත් පසේ පෝෂණය වර්ධනය වේ. පුරන් කාලය දික් වන විට මෙහි රැුඳෙන පෝෂක ප‍්‍රමාණ අධිකය. හේනක් කරන විට, වැවී ඇති ගස්වල අතු කඳු බා, පඳුරුකපා මඳ ගින්නකින් ඒවා පිළිස්සීමෙන් බිම සකස් කර ගනී. බීජ ඉසින්නේ මේ පසටය. ඩුමේගුවේස් විද්‍යාඥයාට අනුව, මෙම ගිනි තැබීම නිසා ඇතිවන අළු, පසට එකතු වනවිට පස ක්‍ෂාරිය වේ. මෙම පරිසරය ස්වාභාවිකව වර්ධනය වන ක්‍ෂුද්‍ර ජීවින්ට හිතකරය. පහළ ස්ථර වල සිටින ක්‍ෂුද්‍ර ජීවිහු පස මතු පිටට පැමිණ ක‍්‍රියාකාරී වීමෙන් පසේ පෝෂණය ප‍්‍රවර්ධනය කරති. මෙය ස්වාභාවිකව සිදුවන ක‍්‍රියාවලියක් වන අතර, මිනිසා විසින් මෙවන් පරිසරයක බීජ ප‍්‍රරෝහනයට හා බෝග වර්ධනයට අවශ්‍ය සාධක ළඟා කර දෙයි. කුඹුරේ සිදුවන්නේ ද මෙම කාර්යයමය. අස්වැන්න නෙළීමෙන් පසු කුඹුර පුරන් වීමට ඉඩ හළේය. එහි විවිධ පැළ වර්ග වැඩිනි. නිදිකුම්බා , පිල , ලෙගුමිනෝසිකුලයේ වෙනත් රනිල ශාක ද මෙහි වැඩුනි. පුරන් කාලයේ දී ගමේ හරකුන් සිය කෑම ලබා ගත්තේ කුඹුර උලා කෑමෙනි. මෙවිට ගව මූතා‍්‍ර සහ ගොම ද කුඹුරට එකතු විය. කුඹුරේ තැනින් තැන මීගස් ලොකුවට වැවී තිබුනි. ගෙඩි කෑමට එන වවුලන්ගේ මළපහද , එහි පත‍්‍ර ද කුඹුරට එකතු විය. ඊළඟ කන්නය සඳහා සී සාන විට මේවා කුඹුරට එකතු විය. මේවා පොහොර වී පැළයට පෝෂණය ලබා දුන්නේය. මෙම පුරන් කාලය පෝෂණ ද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණයට හොඳම නිදර්ශනයකි.
පාරම්පරික ගොවිතැනේ, විශේෂයෙන් ගොඩගොවිතැනේ දී බිම සකස් කිරීමක් සිදු නොවන තරම්ය. පිහිටි පොළොව ගොවිතැනට යොදා ගනී. බොහෝ විට වියළි කලාපයේ හා අතර මැදි කලාපයේ ගොවි බිම්වල මෙම ගොවිතැන සිදුවන විට, එම භූ විෂමතාවට සරිලන ආකාරයට බෝග රටා ද තෝරාගනු ලැබීය. බිමේ උස ස්ථානවල, වියළීම ඉක්මන් නිසා ඒ ස්ථානවල වට්ටක්කා, බඩ ඉරිඟු , ඉදල් ඉරිඟු ද වගා කළ අතර තෙතමනය ටිකක් වැඩි බෑවුමේ මිරිස් , මුං , උඳුවගා කළහ. බෑවුමේ තවත් පහළට වනවිට තෙතමනය වැඩි කාලයක් පවතින ස්ථානවල කෙටි කාලීන වී වර්ග වගා කෙරුණි. මේ අනුව එකම භූමියේ තෙතමන රෙජිමය අනුව වගාවන් ද බෝග රටාවද වෙනස් විය.
සෑම විටම බෝග වගා කළේ මිශ‍්‍රවය. එය ගොවියාගේ ම අත්දැකීමකි. අබ හා කුරක්කන් එකට වැපිරීය. හුඹස් ඇති තැන්වල බඩ ඉරිඟු ද, වට්ටක්කා, ද තවත් පහළට වන විට වම්බටු , මිරිස් , බණ්ඩක්කා ,මුං , උඳු එකම බිමේ ම වගා කෙරුණි. මේ අනුව විශාල බෝග විවිධත්වයක් එම වගා බිම්වල දක්නට තිබුණි. වර්තමානයේ මෙන් මුළු වගා බිම අතුරා ගෙන එක බෝගයක් , තනි බෝගයක් වගා කළේ නැත. මිශ‍්‍ර වගාව අවදානමට හොඳම උපක‍්‍රමයකි. ලෙඩ රෝග අවම වීම , නියඟය හෝ ගං වතුරෙන් වන හානි අවම වීම මෙහි ඇති ප‍්‍රයෝජනයන් ය. කුඹුර ද මෙසේ ම විය. ගොයම ප‍්‍රධාන වූවත් ලූනුවිල , කංකුංද, තවත් තැනක පං , ගල්ලැහැද වගා විය. කුඹුරේ වෙල් මාළු , කාවයියන් , මගුරන් , වැලි ගොව්වන් ඕනෑ තරම් සිටියහ. මැඩි වර්ග ද ඒ අතර විය. මෙය සමස්ත ජෛව විවිධත්වය ම නියෝජනය කළේය. ගෙවත්ත නිර්මාණය කළේ ද පාරම්පරික ගොවියාය. මෙය ප‍්‍රදේශයට ගැලපෙන ලෙස සකස් කර ගත් බව පෙනේ. ස්ථරායනයක් සහිත ශාක වර්ග මෙහි වගා කර තිබුණි. එළවළු ද වගා විය. මෙය ද ජෛව විවිධත්වයෙන් අනූන විය.
විශාල කෘෂි බෝග විවිධත්වයක් හා ගොවිපළ සතුන් විවිධත්වයක් ද පාරම්පරික ගොවියා විසින් වර්තමානයට උරුම කර දී ඇත. විවිධ මාෂ බෝග, රළු බෝග , අල වර්ග පලතුරු වර්ග මේ අතර වෙයි. ගොවිතැනට උපකාර කර ගැනීමට, පරිභෝජනයට හා සංචාරක කටයුතු සඳහා සතුන් ගෘහස්ථ කළේ ද , තෝරා ගැනීම , හා මේච්චල් කර ගැනීම කළේ ද අපේ මුතුන් මිත්තන් විසිනි. අද තිබෙන සියලූම බෝග හා අද සිටින ගොවිපළ සතුන් නිර්මාණය කළේ ඔවුන්ය. සිය පරිශ‍්‍රය තුළම ය. රසය, ඖෂධීය ගුණය , දේශගුණ වෙනස්වීම් වලට හෝ පලිබෝධ වසංගත වලට ඔරොත්තු දෙන ලෙස ජාන විවිධත්වයක් පරිණාමනය කළේ ද මෙම පාරම්පරික ගොවියා සිය පරිශ‍්‍රය , ගොවිපළ තුළ දී මය. විවිධ බෝග මිශ‍්‍රණ ද මෙලෙස ගොවිතැනට අදාළ කර ගනු ලැබීය.
ගොවිතැන හා බැඳුනු සිරිත් විරිත් හා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ද පාරම්පරික ගොවියා රැකගත්තේ ය. ස්වභාවධර්මය , ඉර , හඳ මෙනෙහි කරන ගොවියා සමස්ත ගොවිතැනම ගොවි සංස්කෘතියක් බවට පත් කර ගත්තේය.ඔවුන් සතුවූූ පාරම්පරික ඥානය ගොවිතැන හා බැඳුනි.
පාරම්පරික ගොවියන් ගොවිතැනේ සියලූම අංග, ක‍්‍රියාකාරකම් යම් පාලනයකට ගෙන තිබුණි. සමස්ත සම්පත් පරිහරණය , ජලය , භූමිය , වැව රැකගැනීම ඔවුන් සතුවිය. බීජ , බෝග නිෂ්පාදනය , හුවමාරුව ඔවුන්ගේ ම විය. වගා කරන්නේ කවදා ද වගාව සඳහා ජලය ලබා දෙන්නේ කවදා ද යන්න තීරණය කළේ ද ඔවුන් ම ය. කැලෑව ඔවුන් අරපරිස්සමින් පාවිච්චි කළේ තවත් පරම්පරාවක් ගැන සිතමිනි. මුළු මහත් ග‍්‍රාමයම ගැමියාට නතුවිය. එය කුඩා රාජ්‍යයක් විය. අවාසනාවකට මෙන් අද වන විට ගොවිතැන වාණිජ අරමුණු වලට යටවී ඇති නිසා ගොවිතැන පරිසර පද්ධතියක් ලෙස සලකන්නේ නැත. එහි තිබූ අංග ලක්‍ෂණ, සංරචක, තනි බෝග වගා හා වැඩිදියුණු කළ බීජ වලින් අවලංගු කර තිබේ. එයට උරුම වූ සංස්කෘතියත් , සිරිත් විරිත් ද අහිමි වී ඇත.
ආහාර නිෂ්පාදනය මේ වනවිට පරම්පරා 600ක් විසින් සිදුකර ඇත. ගෘහස්ථකරණයට හා ගොවිතැනට අවුරුදු 12000ක ඉතිහාසයක් තිබේ. මෙම පාරම්පරික ගොවිතැන නිෂ්පාදනය හා පරිභෝජනය, සංස්කෘතියට හා සමාජ පද්ධතියට මනා ලෙස ගැලපී තිබුණි. නමුත් මෑත ම පරම්පරා දෙක හෝ උපරිම පරම්පරා තුන විසින් මෙම මනා සබැඳියාව කඩා දමා කාර්මික මුලධර්ම වලට අනුකූලව වැඩිදියුණු කළ තාක්ෂණ භාවිතය මඟින් නිෂ්පාදනය උපරිම කළේ ය. අක්කරයකට ලැබෙන අස්වැන්න වැඩිවීම හා ඒ සඳහා ම අඩුවන කම්කරු ශ‍්‍රමය හා බලන විට මෙය කාර්යක්‍ෂම ආහාර නිෂ්පාදන ක‍්‍රියාවකි. නමුත් පසට, ජෛව විවිධත්වයට මෙන් ම ජලයට සිදුවන හානිය සම්පූර්ණයෙන් ම නොසලකා හැරුණි. වසර 12000ක් පුරාවට රැකගත් තිරසරත්වය හා ස්ථායීතාව පුපුරා ගියේ ය.
වර්තමානයේ අපේ ගොවීන් භාවිතා කරන්නේ බටහිරින් අපේ රටවලට උරුම කළ හරිත විප්ලවය හා එහි තාක්ෂණයයි. එය බටහිරින් අපේ රටවලට ආදේශ කළ පරපෝෂිත ගොවිතැන් ක‍්‍රමයකි. සූක්‍ෂම බිම් සැකැස්ම, වාරි ජල සම්පාදනය, පොහොර භාවිතය, එයට ප‍්‍රතිචාර දක්වන දෙමුහුන් බීජ අභිජනනය කිරීම, වල් නාශක හා කෘමි නාශක භාවිතය එයට අනුගත වූ තාක්ෂණ කට්ටල වේ. රාජ්‍ය ප‍්‍රතිපත්ති, දෙපාර්තමේන්තු වල වැඩසටහන්, හා ව්‍යාපෘති කටයුතු මෙන් ම විවිධ ගිවිසුම් ද මෙම ගොවිතැන ගොවීන් අතර ජනප‍්‍රිය කරවීමට උපකාරී විය.
මෙම වාණිජ කෘෂිකර්ම පද්ධතීන් ගම්මාන සිසාරා පැතිරී යනවිට ගොවිතැනින් ලැබූ අස්වැන්න වැඩි වූ බව සැබෑය. කාලයත් සමඟ එමඟින් ඇති වූ අයහපත් බලපෑම්, ලැබූ ජයග‍්‍රහණ යටපත් කළේ ය. මේ නිසා පරිසරය, ස්වභාවික සම්පත්, ජලය මිනිසා හා ජීවීන් මේ සියල්ලෙහි ම ස්වභාවික ක‍්‍රියාකාරීත්වය නැවතුණි. සමහර විට ඒවා නැවත ආපසු හැරවීමට, ප‍්‍රතිඋත්පාදනය කර ගැනීමට නොහැකි තරමට විනාශ මුඛයට පත්විය. හායනය විය. දුෂණය විය. දිනපතා ආහාර අනුභව කරනවිට එම ආහාර නිපද වූ ප‍්‍රජාවට, සමස්ත සම්පත්වලට, පරිසරය හා භූමි නිර්මාණවලට සිදු වූයේ කුමක් දැයි අපි නොසිතුවෙමු. අප ගන්නා ආහාර, එළවළු, පලතුරු ධාන්‍ය එම විනාශයේ ප‍්‍රතිඵලයකි. දැන් අප විකල්පයකට යා යුතුය.
ලංකාවත්, සමස්ත ලෝකයමත් තිරසර හා ස්ථායී වූ ගොවිතැනකට ප‍්‍රවේශ විය යුතු ය යන පොදු එකඟත්වයකට එල්බ ගෙන සිටී. මේ වසරේ මාර්තු 6 වෙනි දින ප‍්‍රදර්ශනයේ දී ජනාධිපතිතුමා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත් වූ ”වස විසෙන් තොර රටක්” යටතේ දෙනෝ දාහක් ඉදිරිපිට ඉදිරි වසර 03ක කාලය තුළ ශ‍්‍රී ලංකාව වස විසෙන් තොර ගොවිතැනක් සඳහා ගමන් කරවන බව ප‍්‍රකාශ කළේ ය. මෙය ඉතා වැදගත් ප‍්‍රකාශයකි. මේ අනුව ජනතාව බලගැන්වීමටත්, රාජ්‍ය ප‍්‍රතිපත්ති, පර්යේෂණ හා ව්‍යාප්ති කටයුතු මේ සඳහා යොමු කර ගැනීමත් සිදුවිය යුතුව ඇත. වර්තමාන තිරසර යෙදවුම් තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මය පද්ධතිය පාරම්පරික ගොවිතැනේ හා ස්වභාවික පරිසර පද්ධතිවල මුලධර්ම එකතු කරගත් කෘෂි පාරිසරික ගොවිතැනකට අවතීර්ණ වීමට, පරිණාමනය වීමට දැන් ශ‍්‍රී ලංකාව සූදානම්ය. වර්තමාන කෘෂිකර්ම ප‍්‍රතිපත්ති, ආහාර නිෂ්පාදනය හා ගොවිතැන ස්වභාව ධර්මයෙන් වෙන් කර ඇත. නමුත් වසර දහස් ගණනක් තිස්සේ මේ එකිනෙක බැඳී තිබුණි. මෑත භාගයේ කෘෂිකර්මය වූ කලී එය ස්වභාව ධර්මයෙන් වෙන් කිරීමේ ඉතිහාසයයි. මෙය අඩ සියවසක් තරම් ඉතා කෙටි කාලයකින් සිදුවිය. අද ඇති අභියෝගය ගොවිතැන, ස්වභාවධර්මය හා මිනිසා නැවතද එකතු කළ හැක්කේ කෙසේ ද යන්නයි. මෙම කටයුත්තට උරදුන් විශාල සංඛ්‍යාවක් ගොවීන්, ක‍්‍රියාධරයින් හා විද්‍යාඥයින් ලොව පුරා විසිරී ඇත. ජනතාව අවදි කරවමින් ගමක් පාසා ඇවිදිමින්. ඔවුන්ගේ සිත් සතන් වෙනතකට ගෙන ඒමට, කලින් වූ භූමි නිර්මාණ නැවතද මිහිමතට ගෙන ඒමට, ඔවුහු මූලික වී සිටිති. එක්සත් ජාතීන්ගේ සම්මේලනය 2011 දී හේග් හි කළ ප‍්‍රකාශය අනුව එහි සියලූම රාජ්‍යයන්ගේ මධ්‍යම ආණ්ඩුවල කෘෂිකර්ම ප‍්‍රතිපත්තය විය යුත්තේ තිරසර ගොවිතැන නැතිනම් ”කෘෂි පරිසර විද්‍යාව” යන තැනට තල්ලූ කළේ ද මොවුන්ම ය. ලොව පුරා විසුරුණු විද්‍යාඥයන් 400ක් විසින් මෙම 21වෙනි ශත වර්ෂය සඳහා විය යුතු කෘෂිකර්ම මෙයමැයි කියැවුනේ ද මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙම තිරසර ගොවිතැන මාන තුනක එකතුවකි. ආර්ථිකව ශක්‍ය වූ ද සාමාජීය සාධාරණ වූ ද කෘෂිකර්මයකි. සාර්ථකත්වය මැනීමේ දී මේ මාන තුන ම එක්ව ගණන් බැලිය යුතුවේ.
”තිරසර ගොවිතැන පෝෂණ චක‍්‍ර, නෛට‍්‍රජන් තිර කරන බෝග වර්ග වගා කිරීම, පස ප‍්‍රතිඋත්පාදනය කිරීම, ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියට හානිකර පළිබෝධ පාලනය කරන විලෝපිතයන්, පරපෝෂිතයන් වර්ධනයවීමට ඉඩ හැරීම වැනි ස්වභාවික ක‍්‍රියාවලි ගොවිතැනට ඒකාබද්ධ කිරීම එක පරමාර්ථයකි. මීට අමතරව ස්වභාවික පරිසරයටත්, ගොවිතැනටත්, පාරිභෝගිකයාටත් එකසේ වස විසෙන් හානි පමුණු වන්නා වූ ප‍්‍රතිඋත්පාදනය නොවන බාහිර යෙදවුම් ඉවත් කිරීම හෝ අඩු කිරීම (කෘෂි රසායන පොහොර, වල් නාශක, කෘමි නාශක, දිලීර නාශක, ඉන්ධන ප‍්‍රමුඛ යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය* තවත් පරමාර්ථයකි. මේ කෘෂිකර්මය නිසා ගොවියාගේ දැනුම හා කුසලතා වඩා අර්ථවත් වන අතර, ඔවුන්ගේ නව නිර්මාණ ද එම`ගින් ප‍්‍රවර්ධනය වේ.
තිරසර ගොවිතැන කුටුම්භයටත්, වෙළෙඳ පොළටත් අවශ්‍ය විවිධ ආහාර වර්ග එකවර නිපදවයි. මීට අමතරව මෙම ගොවිතැන නිසා පරිසරය පිරිසිදු වීමත්, ජලය දුෂණය නොවීම, සහ කාබන් තිර කිරීම නිසා වායු ගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඞ් සහ මීතේන් අවම වීමෙන් වායුගෝලය උණුසුම් වීම වැළැක්වීම කෙරේත් සෘජුවම බලපෑමක් සිදු කරයි. ගුණාත්මක භූමි දර්ශකයන් නැවත ද ස්ථාපිත වීම හා ගොවි බිම්වල ජෛව විවිධත්වය ප‍්‍රවර්ධනය වීම ද අතුරු ධනාත්මක ප‍්‍රතිඵල වන්නේ ය.”