ගම කේන්ද්‍ර කරගත් තිරසර සංවර්ධනයක් අවශ්‍යයි

ආචාර්ය ලයනල් වීරකෝන්

ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. මෙරට ජනගහනයෙන් 80%ක් පමණ ජීවත් වෙන්නේ ග‍්‍රාමීයවය. මෙයින් 70%ක් ම සෘජුව ම හෝ අනියමින් කෘෂිකර්මය ජීවිකාව කරගෙන ජීවත් වේ. ස්ථිරව ම 30%ක ගේ ජීවනෝපාය කෘෂිකර්මය වේ. මෙයට ධීවර කර්මාන්තය හෝ සත්ව පාලනය වැනි අංශ ද එක් කළ විට මෙම අගය මීට වඩා වැඩි විය හැකිය. ග‍්‍රාමීයව වෙසෙන මෙම ප‍්‍රජාවෙන් විශාල ප‍්‍රමාණයක් වෙසෙසින් ම වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්ති නිසා ආන්තිකභාවයට, දිළිඳු බවට හා මන්දපෝෂණයට පත්වී සිටිති. 85% ග‍්‍රාමීය ජනතාව දිළිඳුය. ලංකාවේ තිබෙන ග‍්‍රාම නිලධාරී වසම් ගණන 14000කි. නගරබදව ඇති ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ හැරුණු විට තවත් දහස් ගණනක් ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ වලට මෙම ප‍්‍රජාව කොටු වී සිටිති. මොවුන්ගේ ආර්ථිකය ඉහළ දැමීමට ගත් වැඩ පිළිවෙළ මෙතෙක් සාර්ථක වූ බව නොපෙනේ. ජන සවිය, සමෘද්ධි, දිවි නැගුම වැනි වැඩසටහන්, වලින් ඇති කළ බලපෑම ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීමට ප‍්‍රමාණවත් නොවීය. තවද රටේ ආර්ථීක වර්ධනයට සාපේක්ෂව, බලාපොරොත්තු වූ ප‍්‍රතිලාභ කාන්දු වීමක් ද සිදු නොවීය.
පළාත් සභා මට්ටමින් ඒක පුද්ගල ආදායම ගණන් බැලූ විට එකිනෙක් පළාත් සභා අතර විශාල විෂමතාවක් ඇති බව පෙනී යයි. ලංකාවේ ඇත්තේ අසමාන සංවර්ධනයක් වීම මෙයට හේතු වෙයි. මෙම අසමාන සංවර්ධනයට ප‍්‍රධාන ම හේතුව වූයේ යටත් විජිතවාදයත්, ධනවාදී ආර්ථිකයත් ය යන්න සාමාන්‍ය පිළිගැනීම වන්නේ ය. බි‍්‍රතාන්‍ය සමය තුළ බස්නාහිර පළාත සංවර්ධනය විය. එය පරිපාලන සහ ආර්ථික මධ්‍යස්ථානය ද වීම මෙයට හේතුව වේ. දේශපාලන බලය එක් රැස් වූයේ ද මෙහිය. අනෙකුත් පළාත් වල වූව ද ප‍්‍රධාන නගර වල ඒක පුද්ගල ආදායම වැඩි වූවත් එහි ම පර්යන්තය අඩු සංවර්ධනයක් පෙන්වයි. කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, හා කළුතර ප‍්‍රධාන කරගත් බස්නාහිර පළාත සහ සෙසු පළාත් අතර ඇත්තේ බෙදිය නොහැකි මධ්‍ය හා පර්යන්ත විභේදනයකි. මෙම විභේදනය උත්සන්න වූයේ 1977 දී පටන් ගත් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියයි.


පළාත් අනුව දළ දේශීය නිෂ්පාදනයේ (%) දායකත්වය. (GDP)
පළාත් සභාව දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රමාණය
බස්නාහිර 41.2
මධ්‍යම 10.3
දකුණ 10.4
උතුර 3.5
වයඹ 10.9
උතුරු මැද 5.4
ඌව 5.2
නැගෙනහිර 6.0
සබරගමුව 7.0

Source:Central Bank of Sri lanka ,Annual Reports

වගුවේ දක්වා ඇති ආකාරයට මධ්‍යම, දකුණ හා වයඹ යම් ප‍්‍රගතියක් පෙන්වයි. උතුර, උතුරු මැද, ඌව, නැගෙනහිර තත්ත්වය ඉතා නරකය. වසර 30ක යුද්ධය අවසන් වී වසර 05ක් ඉක්ම වී ගියත් උතුරේ හා නැගෙනහිර පළාත් වලට දරිද්‍රතාවයෙන් ගොඩ ඒමට තවමත් නොහැකි වූ බව දත්ත පෙන්වා දෙයි. Sri lanka Human Development Report අනුව (2012) අධ්‍යාපන හා සෞඛ්‍යය ද වෙනත් පළාත් සභා හා සසඳන විට බස්නාහිර පළාත ඉතා ඉහළ අගයක් ගනී. 2014, ගිනි සංගුණකය (guinea Coefficient) රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3600ක් වූවද එය බෙදී ඇත්තේ බරපතළ අසමානතාවකින් බව පෙනී යයි. ජනගහනයේ පහළ ආදායම් ලබන 20% ජාතික කුටුම්භ ආදායමෙහිි 4.5%ක් පමණක් ලබා ගන්නා නමුත් ඉහළ ස්ථරය 54%ක ප‍්‍රතිශතයක් භුක්ති විඳී. 2009 ඔක්තෝබර් 14 "Daily Mirror" පුවත්පතේ කතුවැකිය සඳහන් කරන ආකාරයට ආසියාව හා පැසිෆික් රටවල් සම`ග සසඳන විට වැඩිම දුප්පත් පොහොසත් අසමානතාවක් දක්නට ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ය. එම පුවත්පතට අනුව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ හි සමාජ-ආර්ථික දශක පිළිබඳ සිදුකළ සමීක්ෂණයක දී තෝරාගත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 119 ක 80%ක් ම සිය ජීවිකාව කරගෙන ඇත්තේ ගොවිතැනෙනි. මෙයින් පැහැදිලි වන්නේ ග‍්‍රාමීයව වෙසෙන ගොවි කුටුම්භ දිළින්දන් බවයි. මොවුන් මෙයින් ගලවා ගැනීමට, දිළිඳු කම අවම කර ගැනීමට කුමක් කළ යුතු ද යන්න අද ඇති බරපතලම ප‍්‍රශ්නයයි.
වරාය නගරය හෝ මහා නගර හෝ නිර්මාණය කිරීම තවදුරටත් ධනවාදී ආර්ථික ක‍්‍රමය ඉදිරියට ගෙන යාමකි. ගමෙන් ශ‍්‍රම බලකායක් නගරයට ගෙන ඒම එම වැඩ පිළිවෙලය. නැතිනම් කර්මාන්ත සඳහා ශ‍්‍රමය ගමෙන් සපයා ගැනීමය. ගමෙන් එන තරුණයන්ට කර්මාන්ත ශාලාවල කළමනාකරුවන්වීම හීනයකි. මෙම ප‍්‍රයත්නය නිසා ගමට මුදල් ගලා යන්නේ යැයි සිතීම ද බලවත් වරදකි. ගමේ පදනම කැඞී යාමටත්, එහි ඒකාග‍්‍රතාව වැනසී යාමටත් මෙම ප‍්‍රයත්නය බලපානු ඇත. නමුත් පැහැදිලිවම විය යුතු වන්නේ ග‍්‍රාමීයව ඇති සියලූම ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ වෙන වෙනම ඒකක ලෙස සලකා ඒවායේ සමාජ ආර්ථික පදනම ඉහළ දැමීමට අවශ්‍ය තිරසර සංවර්ධන ක‍්‍රමවේදයක් සකස් කිරීම වේ. ගමේ තරුණ කොටස් ගමේ ම රඳවා ගැනීමට නම් ගම තුළ නව ව්‍යවසායකයන් ඇති කළ යුතුය. කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර හා ග‍්‍රාමීය කර්මාන්ත හා ඒවායේ පිරි සැකසුම්, වටිනාකම් වැඩි කිරීම තුළින් නව නිෂ්පාදන ඇති කර, නගරයට යොමු කිරීමටත් ගමට අවශ්‍ය ද්‍රව්‍ය නගරයෙන් සපයා ගැනීමටත් මෙය පහසුවක් වන්නේය. මේ අනුව ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ ගණනාවකට සම්බන්ධ විසිරී ගිය කුඩා නගර ජාලයක් බිහි විය හැකිය. ශක්තිමත් ආහාර සුරක්ෂිතතාවක් මෙන් ම ප‍්‍රාදේශීය ආහාර සුරක්ෂිතතාවක් ද තහවුරු කර මුදල් සංසරණය වෙමින් ප‍්‍රාදේශීය ආර්ථික ඒකක ගොඩ න`ගා ගැනීම සිදු කළ හැකිය. දිළිඳුකම හා කුස ගින්නද ක‍්‍රමයෙන් අවම කර ගතහැකි වන අතර, ප‍්‍රාදේශීයව ස්වාධීන හා ශක්තිමත් ගම්මාන ඒකක ද බිහි වනු ඇත. ගමක් සංවර්ධනය කළ හැක්කේ මොන ආකාරයට ද යන්න පිළිබඳ හරි දැක්මක් පසුගිය රජයන්ටත් වර්තමාන රජයටත් නැත. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රධාන ජීවිකා වෘත්තීය ගොවිතැන, සත්ත්ව පාලනය හා ධීවර කම_ාන්තයයි. එය ශක්තිමත් කළ යුතුය යන්න අවිවාදාත්මකය. ඒ සම`ග ගම් තුළ මෙම මූලික ජීවිකා වෘත්තීන් පදනම් කළ නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇති කළ යුතු වේ, ග‍්‍රාමීය කර්මාන්ත ද බිහි කළ හැකිය. අද වන විට නිර්මාණය වී ඇති ව්‍යවසායන් සඳහා වටිනාකමක් නොලැබේ. මේවා බොහෝමයක් තවමත් පවතින්නේ ප‍්‍රාථමික මට්ටමේ ය.
ඇත්තට ම නම් ගමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇති කිරීමට ඇති ප‍්‍රධාන ම බාධකය ඔවුනට අවශ්‍ය තාක්ෂණය නොලැබීමය. වෙළෙඳපලට යොමුකළ හැකි අලූත් කර්මාන්ත, නිෂ්පාදන ගම තුළ බිහි කළ හැකි තාක්ෂණ හඳුනා ගත යුතුය. නිෂ්පාදන වලට අවශ්‍යය ප‍්‍රමිතීන් මොනවාද යන්නත් කියා දිය යුතු වේ. කාබනික ගොවිතැන හා ආහාර නිෂ්පාදනය, ඒවායේ සහතිකකරණය එක් නිදසුනකි. අත්යන්ත‍්‍ර රෙදිපිළි හා බතික් ද කර්මාන්ත ලෙස ගම්වල ස්ථාපිතව තිබුණි. ඒවායේ ලස්සන අලූත් නිර්මාණ ද බිහිවිය. නමුත් 1977 න් පසු පැමිණි විවෘත ආර්ථීකය නිසා ඒවා විනාශ මුඛයට පත්විය. සෑම ගමකම වාගේ හාල් මෝල්, ඇඹරුම් හල් ද තිබුණි. මේවා කුඩා ව්‍යවසායකයන් ය. මීළගට පැන නගින්නේ එවැනි ව්‍යවසාය ආරම්භ කිරීමට මොවුනට මූලික ධනයක් නොමැතිකමය. දුප්පතුන් සඳහා සමෘද්ධි බැංකු ජාලයක් ඇත. ආරම්භයේ දී එම මුදල් ලබා ගැනීමට උනන්දු කළ හැකිය. සමෘද්ධි නොවන ගමේ අන් අයට බැංකු පහසුකම් ලබා ගැනීමට හැකියාව ළ`ගා කර දිය යුතු වේ. බැංකු වලට මෙබඳු හුරුවක් නැතිසේය. මේ නිසා ණය පහසුකම් ලබා ගෙන ස්වයං රැුකියා හා කුඩා ව්‍යාපාර ගම තුළ බිහි කිරීමේ නව ණය සංස්කෘතියක් බිහි කළ යුතුවේ. නිෂ්පාදන අලෙවිය සඳහා ජනතා සමූපකාර පද්ධතියක් ඇති කර, කළමනාකරණය පිළිබඳ ඔවුනට පුහුණුවක් ලබා දිය යුතුය. මේ සඳහා මූල්‍ය කළමනාකරණය, පොත් තබා ගැනීම මෙන් ම පරිපාලන හැකියාවන් ද සමූපකාර මණ්ඩලයට ලබා දිය යුතු වේ. ගම තුළ නව පරපුරක් බිහි කිරීමේ ඔවුනට නායකත්වය ලබා ගැනීමට, සිය අයිතිවාසිකම් පිළිබඳව විශේෂයෙන් ස්වාභාවික සම්පත් (බීජ, ජෛව විවිධත්වය, ඉඩම්, ජලය) සඳහා ඇති අයිතිය, ආරක්ෂා කර ගැනීමටත්, වෙනත් ආයතන හා සබඳකම් ගොඩ න`ගා ගැනීමටත් ඔවුනට මග පෙන්විය යුත්තේ ය. මෙලෙස නව සමාජ ආර්ථීක හා සංස්කෘතික පදනමකින් යුත් ගමක් ද, ස්වාධීන ජනතා ඒකකයන් ද මේ තුළින් බිහි කළ හැකිය. නැතිනම් තවදුරටත් ගම එතැනමය. තරුණයින් ගමින් පිටතට සංක‍්‍රමණය වනු ඇත. සතුටින් පිරි ගමක්, නිර්මාණශීලී පරපුරක් ගමින් ගමට බිහිකිරීමේ වැඩ පිළිවෙළක් රජයට තිබිය යුතුය. එසේ නොමැතිව පිටරටින් එන ආයෝජකයන්ට අවශ්‍ය ශ‍්‍රම බලකායක් ගමෙන් ලබා දී රැුකියා සුලභ කළ හැකි යයි පැවසීම ජාතියට ම නිග‍්‍රහයකි.