භූමිය හා ශ්‍රම අයිතිය අහිමි කරණ නීල හරිත අයවැය පරාජය කළ යුතුය



2018 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය 2017 නොවැම්බර් 09 වන දින මුදල් ආමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. රජය පවසන පරිදි 2025 දී පොහොසත් රටක් ගොඩනැගීමේ අරමුණින් යුතු ව අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන යෝජනා මාලාවක් මෙම අය වැය තුළ අඩංගු වේ.

මුදල් අමාත්‍යතුමන් ප්‍රකාශ කරන පරිදි, පසුගිය කාල සීමා ව තුළ වත්මන් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ හා සංහිදියාවේ කුළුණු මත ආර්ථිකයට ස්ථිරසාර පදනමක් දැමූ අතර, නවෝත්පාදන තුළින් මෙහෙයවන සමාජ වෙළෙඳපොළ ආර්ථිකයන් ගොඩනැඟීමටත් ඒ තුළින් සාධාරණ හා සමානාත්මතා පිළිවෙත් මත ආර්ථික වර්ධනය වේගවත් කිරීමටත්’ කටයුතු කර තිබෙන අතර මෙම අය වැය යෝජනාවලිය එම ප්‍රවේශය තවත් ශක්තිමත් කරන බව පැවසේ.

නමුත් මෙම අය වැය යෝජනා ප්‍රජාතන්ත්‍රවාදය, සහජීවනය, සාධාරණත්ව හෝ සමානාත්මතාවය ශක්තිමත් කිරීම කෙසේ වෙතත් එවා තවත් උල්ලංඝණය කිරීමට දායක වනු ඇති බවට බරපතල සැකයක් මතු වේ.

විශේෂයෙන් ම ජනතාවගේ ජීවිත සඳහා සෘජු ව බලපෑම් ඇතිවන ආර්ථිකයේ තීරණාත්මක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු ගැනීමට දායක වීමේ ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මෙම අය වැය නිර්මාණය වී ඇති බව පැහැදිලිය. 2016 ජූනි මාසයේ දී අත්සන් තබන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම් වල මූලික කොන්දේසි වූ රාජ්‍ය වියදම් කපාහැරීම හා ආදායම් වැඩි කිරිම (බදු සංශෝධනයන් හරහා), රාජ්‍ය ආයතන හා සේවාවන් පෞද්ගලීකරණය, දේශීය කර්මාන්ත හා නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති බදු හා අනෙකුත් ආරක්ෂණ ක්‍රමවේදයන් ඉවත් කිරීම හා විදේශීය ආයෝජකයන්ට බාධාවන් ව පවතින කම්කරු හා ඉඩම් නීති සංශෝධනය ආදිය ක්‍රියාත්මක කිරීමේ වඩාත් සෘජු හා විවෘත ප්‍රකාශනය බවට මෙම අයවැය යෝජනාවලිය හඳුන්වාදිය හැක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව පසුගිය කාලය පුරා ඉස්මතු කළ පරිදි විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දී ඔවුනට අවශ්‍ය පරිදි පහසුවෙන් භූමිය, ස්වාභාවික සම්පත් හා ලාභ ශ්‍රමය සැපයීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වෙනස් කිරීමට මෙම අය වැය යෝජනාවලිය මඟින් නිර්දේශ කෙරේ. මේ අතුරින් පහත යෝජනා සම්බන්ධයෙන් ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානය වශයෙන් අපගේ දැඩි අවධානය යොමු කර සිටිමු.

  1. විදේශීකයන්ට නිවාස අයිතිය ලබා ගත හැකි වන පරිදි 1972 අංක 7 දරන කූලි පනත සංශෝධනය කිරීම
  2. විවිධ බෝග වගා කිරීමට ඉඩ සැලසෙන පරිදි 1958 අංක 1 දරන කුඹුරු පනත සහ 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කිරීම
  3. වැඩකරන පැය ගණන හා අනෙකුත් සේවා කොන්දේසි ලිහිල් කරනු පිණිස 1954 අංක 15 දරන සාප්පු සහ කාර්යාල පනත සංශෝධනය කිරීම
  4. ලෝක වෙළෙද සංවිධානය සමඟ ඇති එකගතා අනුව, ආර්ථික ලිහිල්කරණ හා ගෝලීයකරණ ප්‍රතිපත්තියට අනුකූලව තීරු බදු නොවන ආනයන බදු ඊළඟ වසර 3 තුළ අහෝසි කිරීම
  5. විදේශීය හිමිකම් සහිත සමාගම්වලට ඉඩම් අයිතිය සීමා කරණ 2014 අංක 38 දරන ඉඩම් සීමා කිරීම සහ බැහැර කිරීමේ පනත සංශෝධනය හා ගොවි ඉඩම් විකිණීම හා මිළ දී ගැනීම පහසුකෙරෙන පරිදි ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කිරීම

මෙම යෝජනාවන් බොහොමයක් පසුගිය දශක කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බලපෑම මත පැවති රජයන් විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ නමුත් ජනතා විරෝධතා හේතුවෙන් ඉවත් කර ගන්නා ලද යෝජනාවන් ය. එබැවින් ම මෙය කිසිලෙසකත් නව ආර්ථික සැලැස්මක් නොව ශ්‍රී ලංකාවේත්, ලෝකය පුරාත් අසාර්ථක හා ප්‍රතික්ෂේප වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක ගැලපුම් වැඩපිළිවෙල ම වේ. මෙම යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් වූ ගොවීන්, ධීවරයන් හා අනෙකුත් සුලු පරිමාණ නිෂ්පාදකයින්ගේ ජීවිකාවන් සම්බන්ධයෙන් එල්ල විය හැකි අවදානම් තත්වයන් කිහිපයක් සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමු කර සිටිමු.

ආනයන බදු හා අනෙකුත් වෙළෙදපොළ සීමාවන් ඉවත් කිරීම තුළ මෙරට වෙළෙදපොළ තුළ විදේශික ආනයනික භාණ්ඩ සමඟ තරග කිරීමට දේශීය සුලු නිෂ්පාදකයින්ට සිදු වේ. විවිධ සහනාධාර ලබමින් ඉන්දීයාව, චීනය හා පකිස්ථානය වැනි රටවල නිෂ්පාදනය කෙරෙන අඩු මිලැති කෘෂි හා අනෙකුත් නිෂ්පාදන හේතුවෙන් දේශීය නිෂ්පාදකයන් දැනටමත් දැඩි අපහසුතාවයකට පත් ව සිටින අතර මෙම පියවර මඟින් ඔවුන්ගේ ජීවිකාවන් සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත.

විදේශීය සමාගම් සඳහා ශ්‍රී ලංකාවේ ඉඩම් මහා පරිමාණයෙන් ලබා දීමේ රජයේ සැලැසුම් යෝජිත නීති ප්‍රතිසංස්කරණයන් සමඟ තවත් තීව්‍රර වනු ඇත. ජාතික ආරක්ෂාවේ හා සංවර්ධනයේ නාමයෙන් ජනතාවගේ ඉඩම් අයිතින් අහිමි කිරීම නිසා ඇති වූ බොහෝ අරගලයන්ට රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් මුහුණ දෙමින් සිටින අතර මෙම තත්ත්වය තීව්‍රර වීම අති දැවැන්ත සමාජ දේශපාලනික අර්බුදයක් දක්වා රට ඇඳ දමනු ඇත. යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණයන් තුළින් රටේ ජනතාවගේ ශ්‍රමය අඩු මිලට සූරාකෑමේ හැකියාව අයෝජකයන්ට ලැබෙනු ඇත. ඉහත සඳහන් පරිදි තමන්ගේ ඉඩම් අහිමිවීමෙන් අනාථයින් බවට පත්වන ගොවීන්, ධීවරයන් හා අනෙකුත් ග්‍රාමීය ප්‍රජාව නාගරික කම්හල්වල හා මහා පරිමාණ වතු වගාවන්හි මූලික කම්කරු අයිතින් පවා අහිමි වූ වහලුන් බවට පත්වනු ඇත.

ජාතික ආහාර නිෂ්පාදනය වෙනුවට අපනයනය ඉලක්ක කරගත් භාණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනය හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතභාවයට දැඩි බලපෑමක් ඇති වනු ඇති අතර රටේ ජනතාවගේ ආහාර අයිතිය සම්බන්ධයෙන් විදේශ වෙළෙදපොළ මත යැපීමට සිදුවනු ඇත. අවසාන වශයෙන් රජය මෙම අය වැය නීල හරිත පරිසර හිතකාමී අය වැයක් ලෙස හැඳින්වූව ද මහා පරිමාණයෙන් ඉඩම් (වනාන්තර ද ඇතුළත් ව), වෙරෙළ තීරය හා අනෙකුත් ස්වාභාවික සම්පත් විදේශ සමාගම්වලට පැවරීම තුළ එම සම්පත් අතිවිශාල වශයෙන් විනාශ වී යාමේ අවධානමක් පවතී. දැනටමත් මේ සම්බන්ධයෙන් පවතින උදාහරණ බොහොමයක් වේ. මේ වන විට මාගම්පුර වරාය සමඟ මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙකට අයත් සුවිශේෂී ජල පෝෂක වනාන්තර අක්කර 15,000 ක් කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට චීන සමාගම් කිහිපයකට ලබා දීමට සැරසේ. එපමණක් නොව බිබිල හා ඇකිරියන්කුඹුර ප්‍රදේශ වල ජනතාවගේ වගා බිම් ඇතුළු ව වනාන්තර අක්කර 62,500 ක් සිංගප්පූරු සමාගමකට ලබා දීමට සූදානම් වේ. මීට අමතර ව පුත්තලම, කල්පිටිය දූපත් හා දෙද්දූව ප්‍රදේශයේ තෙත් බිම් විශාල ප්‍රමාණයක් මහ පරිමාණ සංචාරක ව්‍යාලෘති සඳහා ලබා දීමට සූදානම් වේ. මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ ඉඩම් අයිතියත්, ආහාර ස්වෛරීභාවයත්, පරිසර පද්ධතින්ගේ යහ පැවැත්මත් වෙනුවෙන් පෙනී සිටින ජනතා ව්‍යාපාරයක් වශයෙන් මෙම අයවැය යෝජනාවලියේ අහිතකර යෝජනා ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ක්‍රියාශීලිව මැදිහත්වීමට අපි තීරණය කර ඇත්තෙමු. රජය විසින් පාර්ලිමේන්තුවේ 2/3 බලය සහිත ව මෙම අය වැය සම්මත කරගත් නමුදු ජනතාවගේ අනුමැතිය නොමැතිව එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට නොහැකි අතර එම නිසා ම මෙම යෝජනා හකුලා ගනිමින්, ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිත ව සිදු කරන, සැබෑ ජනතා හිතවාදි හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිසංස්කරණයක් සඳහා රජයට බලකර සිටිමු.